Thursday, July 6, 2017

මතු බුදුවන මෛත්‍රි බෝසතාණෝ..


අද අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පයේය. මේ කල්පයේ බුදුවරු පස්‌ නමක්‌ පහළ වෙනවා. දැනටමත් බුදුවරු සතර නමක්‌ පහළ වි තිබෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම නමින්, අවසානයට පහල වන්නේ මෛත්‍රි නම් බුදුරජාණන්වහන්සේය. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස්‌ නමක්‌ පහළ වුවත් ඇතැම් කල්පවල එක්‌ බුදු නමක්‌ පමණක්‌ පහළ වූ අවස්‌ථා ද තිබෙනවා. ලොව බුදු වරු පහළ වන කල්ප පහක්‌ තිබෙනවා. එනම්

01 සාර කල්පය 02 මණ්‌ඩල කල්පය 03 වර කල්පය 04 සාර මණ්‌ඩල කල්පය 05 මහා භද්‍ර කල්පය යනුවෙනි.

සාර කල්පයේ බුදුවරු එක්‌නමක්‌ ද, මණ්‌ඩල කල්පයේ බුදුවරු දෙනමක්‌ ද, වර කල්පයේ බුදුවරු තුන් නමක්‌ ද, සාර මණ්‌ඩල කල්පයේ බුදුවරු හතර දෙනකුද, මහ භද්‍රකල්කයේ බුදුවරු පස්‌ නමක්‌ද පහළ වෙනවා. එක්‌ එක්‌ කල්ප අවසානයේදී ලොව විනාශ වී යනවා. බුද්ධ ශූන්‍ය කාලයක්‌ ඉන්පසු ඇති වෙනවා.

Wednesday, December 30, 2015

Think a Minute before New year comes - 2


ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද?

Think a Minute before New year comes - 1




අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, සී, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.
 
වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියැලෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

Wednesday, December 9, 2015

How to be a Buddhihst? බෞද්ධයකු වන්නේ කෙසේද?

 
බෞද්ධයකු වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණකි. එනම් බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ගමන් කිරීමත් උන් වහ‍න්සේ දේශනා කර වදාළ ධර්මය තම ජීවිතය තුලින් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීමත් යනු ඒ මාර්ගයයි.

කිසියම් පූජා උත්සවයක් පැ‍වැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞ‍රව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.

බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.