Wednesday, December 30, 2015

Think a Minute before New year comes - 2


ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුසය වශයෙන් ඉතිරි වෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ සීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. සීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත් වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච සීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද?

Think a Minute before New year comes - 1




අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, සී, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.
 
වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියැලෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

Wednesday, December 9, 2015

How to be a Buddhihst? බෞද්ධයකු වන්නේ කෙසේද?

 
බෞද්ධයකු වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණකි. එනම් බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශනය ඔස්සේ ගමන් කිරීමත් උන් වහ‍න්සේ දේශනා කර වදාළ ධර්මය තම ජීවිතය තුලින් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීමත් යනු ඒ මාර්ගයයි.

කිසියම් පූජා උත්සවයක් පැ‍වැත්වීමෙන් හෝ කිසියම් ආගමික චාරිත්‍රයක් අනුගමනය කිරීමෙන් හෝ කෙනෙකුට විමුක්තිය ලබාගත හැකිය යන වැරදි පිළිගැනීම එනම් සීලබ්බත පරාමාස යන අදහස මෙහිදී බැහැර කෙරේ. එහෙත් මෙහිදී බුදුන් වහන්සේට හෝ උන් වහන්සේ ගේ උපභෝග පරිභෝග වස්තු වලට හෝ උන් වහන්සේ අනුගමනය කරන මහා සංඝයා වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් ගෞ‍රව කිරීමෙන් වැළකිය යුතු යයි මෙයින් කිසි ලෙසකින් වත් අදහස් නොකරයි.

බෞද්ධ මාර්ගය දැඩි ලෙස අනුගමනය කිරීමට කෙනෙකු පටන් ගැනීමට පළමුව ගමන් කළ යුතු මාර්ගයක්ද ළඟා විය යුතු අරමුණක්ද ඇත්තේය යනුවෙන් පැකිලෙන සුලු ගතියෙන් හෝ යුක්ත විශ්වාසයක් ඔහු තුළ තිබිය යුතුය. මේ ආරම්භක විශ්වාසය මනා ලෙස පිහිටන ආකාරය අත්දැකීම් මගින් පැහැදිලි වන විට ක්‍රම ක්‍රමයෙන් එය ශක්තිමත් වෙයි. මෙම විශ්වාසය “ශ්‍රද්ධාව” ලෙස බුදු දහමේ හඳුන්වයි. දැනීම පදනම් කරගත් විශ්වාසය නැතහොත් ළඟා විය යුතු අරමුණක් ඇත්තේය යන විශ්වාසය ශ්‍රද්ධාව ලෙස සරලව හැඳින්විය හැකියි.

Akusal - 02 (ප්‍රධාන අකුසල් මූල වලින් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග)

ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල

ක්‍රෝධය
අන්‍යන්ට රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින් සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක් ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව.

Akusal - 01 (සිතේ ඇතිවන ප්‍රධාන අකුසල් )

සිතේ ඇතිවන අකුසල් සරලව

ලෝභ ‍ද්වේෂ මෝහ යන මේ අවස්ථා තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල් සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල් සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක් හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින් සිදු වෙන්නෙ අකුසලයක්.


සංසර්ගය


සංසර්ගය

සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම ‍ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි. දස්සන සංසග්ග, සවණ සංසග්ග, කාය සංසග්ග, සමුල්ලාපන සංසග්ග හා සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.


දස්සන සංසග්ග

යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්‍රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ‍ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්‍රපටි ටෙළිනාට්‍ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.

Natural Laws - නියාම ධර්ම

නියාම ධර්ම

කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.

මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතු‍වෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීම‍ට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. 

Karma - 04 (විපාක දෙන ස්ථාන අනුව කර්මය)

විපාක දෙන ස්ථාන අනුව කර්මය ආකාර 4 කි.

1.අකුශලය - සතර අපායේ ප්‍රතිසන්ධි විපාක ලබාදෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

2. කාමාචර කුශලය - මිනිස් ලෝකයේ හා දිව්‍යලෝක හතරේ ප්‍රතිසන්ධි විපාක ලබල දෙනව. කාමලෝක රූප‍ලෝක දෙකේ ප්‍රවෘත්ති විපාක ලබා දෙනව.

Karma - 03 (විපාක දෙන කාල අනුව කර්මය)

විපාක දෙන කාල අනුව කර්මය කොටස් 4 කින් යුතුයි.

1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

කරන ලද ආත්ම භ‍වයේදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙස හඳුන්වනව. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශල කර්මය මෙලොවදීම විපාක දෙනව. එසේම සිල්වත් ගුණවත් උතුමන් වහ‍න්සේලාට කරන අපරාධයන්ද මේ ආත්ම භවයේදීම විපාක දෙනව. මෙම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඉතා බලවත් අවස්ථා වලදී දින හතක් ඇතුළත විපාක දෙනව. බලවත් නොවන අවස්ථාවලදී ජීවිතය නැසෙන්නට ප්‍රථමයෙන් කවර හෝ අවස්ථාවකදී විපාක දෙනව. දිට්ඨ ධර්ම වේදනීය කර්මය හැරැණු කොට ගොඩක් ‍කර්ම කරන ලද ආත්මයේදීම විපාක දෙන්නෙ නැහැ. ඒව එක් රැස්වෙලා පවතිනව සුදුසු අවස්ථාව ආවහම විපාක දෙන්න.

Karma - 02 (විපාක දෙන අවස්ථාව අනුව කර්මය )

විපාක දෙන අවස්ථාව අනුව සැළකීමෙන් කර්මය කොටස් 4 ට බෙදිය හැකියි.
 

1.ගරු කර්මය.

මරණින් පස්සෙ දෙවන ජාතියේදී නොවරදවාම විපාක දීමට ශක්තිය තියෙන අතිශයින් බලවත් කර්ම ගරු කර්ම ලෙස හඳුන්වනව. ආනන්තරිය කර්ම පහ (මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇ‍‍‍ඟේ ලේ සෙලවීම, සංඝයා භේද කරවීම) අකුසල පක්‍ෂයේ ගරු කර්ම වෙනව. රූපාචර (ප්‍රථම දුතිය තතිය චතුර්ථ) ධ්‍යාන , අරූපාචර (ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) ධ්‍යාන කුසල පක්‍ෂයේ ගරු කර්ම ලෙස සලකනව.

Karma - 01 (කෘත්‍ය අනුව කර්මය කොටස් 4)

කාර්යය අනුව එනම් කෘත්‍ය අනුව කර්මය කොටස් 4 යි.
 

1.ජනක කර්මය.

මරණින් පසු සත්වයා වෙනත් භවයක අළුත් පුද්ගලයකු ලෙස උපදවන කුශලාකුශල කර්මය ජනක කර්මයයි. අංග සම්පූර්ණවූ බලවත් කුසල කර්ම හෝ අකුසල කර්ම තමයි ජනක කර්ම විධිහට බල පවත්වන්නෙ. දුර්වල කර්ම ජනක කර්ම බවට පත්වෙන්නෙ නැහැ. ඒත් ඒ දුර්වල කර්ම ප්‍රතිසන්ධියක් (නැවත වෙනත් භවයක ඉපදවීමක්) සඳහා ශක්තියක් නැති වුනත්, ජනක කර්මයක් ‍හේතුවෙන් ඉපදුන අයට වරින් වර සැප දුක් ගෙන එන්න සමත් වෙනව. සමහර වෙලාවකට ඒවාට විපාක දෙන්න අවස්ථාවන් නොලැබී අහෝසි වී යාමටත් හැකියාවක් තියනව.