Thursday, January 26, 2012

Asuba Bawana (අශුභ භාවනාව)

ඉන්ද්‍රිය සංවර කර සුභ නිමිත්ත අත්හරින්න.



අපි කවුරුත් අසුභ භාවනාව පුරුදු කර ගන්ට කැමති වෙන්ට ඕනැ. අසුභ සංඥාව පුරුදු කිරීමෙන් අපිට මහත් වූ පිහිට පිළිසරණ, සුව පහසුව ඇති කරගන්ට පුළුවන් කම තියනවා. සිතට ඉතාමත් ම සුව පහසුව ඇති කරගන්ට පුළුවන්කම තියනවා. සාමාන්‍යය මනුෂ්‍යයා තුළ අසුභය තේරුම් ගන්නා ආකාරයට ශරීරය ගැන කල්පනා කරන පුරුද්දක් නෑ. පෘතග්ජන භාවයේ සිටින තාක් ශරීරය සුභ වශයෙන් තමයි බලන්නේ. සුභ වශයෙන් බලන්ට බලන්ට මොකද වෙන්නේ? රාගය උපදිනවා. රාගය උපදින කොට දුක් පීඩා බහුල වෙනවා. සිත ගිනිගෙන දැවෙනවා. ඒ තුල සැබෑ සැපයක් නෑ.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සිටි එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කාන්තාවක් දැකල තදබල ඇල්මක් ඇතිවුනා. රාගයෙන් හිත යටවෙලා ගියා. ඒ ස්වාමීන් වහන්සේට පැවිද්ද එපා වුනා. එයා තුළ පැවිද්ද ගැන ඇල්ම නැතිවෙලා ගිහි වෙන්ට කල්පනා කලා. පස්සේ ස්වාමීන් වහන්සේලා එයාට අවවාද කළා. උදව් කළා. සිහිය උපද්දලා දෙන්ට වෑයම් කළා. හරි ගියේ නෑ. පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැලකළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගෙන් අසා සිටියා, ”හැබෑද මේ කියන කතාව? ඔබ පැවිද්ද අත හැරල මේ ස්ත‍්‍රියක් පිළිබඳව හැඟීම උපදවා ගෙන ගිහි වෙන්ට කල්පනා කරනවා කියන්නේ හැබෑද” කියල. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියා සිටිය, ”එහෙමයි ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස, මට එබඳු හැගීමක් ඉපදිලා තියනවා. මගේ හිත ඒ අදහසට යට වෙලා තියනවා” කියල.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, සුභ නිමිත්ත සිහි කිරීමෙන් රාගය ඉපදිලා සිත රාගයෙන් දැවිල යනව කියන එක අද කාලෙ මෙබඳු අයට පමනක් සිදුවන දෙයක් නෙමෙයි. අතීත කාලේ මහා උතුමන් වහන්සේලාටත් මෙහෙම සිද්ධ වෙලා තියනවා” කියල කියා සිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා අසා සිටියා ”ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, අපිට ඒ ගැන කියා දෙන සේක්වා කියල. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා පින්වත් මහණෙනි, අතීත කාලයකදී භාග්‍යවතුන් වහන්සේ බ‍්‍රාහ්මනයෙක් වෙලා ඉපදිලා හිටියා. ගිහි ගෙදර වාසය අත හැරල හිමාලයට වැඩම කරල බණ භාවනා කළා. බණ භාවනා පුරුදු කරල උන්වහන්සේ සමාධිය ඇති කරගෙන ඉර්දි බලය පවා උපදවා ගත්තා. මේ විදිහට උන් වහන්සේ ඉතා සුව පහසුවෙන් හිමාලයේ වාසය කරන අතර උවමනා කරන දේවල් සොයා ගන්ට මිනිස් වාසස්ථාන තියන ප‍්‍රදේශයට වැඩම කළා.
අපේ මහ බෝසතානන් වහන්සේ ගම්මානෙට වැඩම කලාට පස්සේ රජ්ජුරුවන්ට මේ ගැන දැනගන්ට ලැබුණා. මේ වගේ තාපසයන් වහන්සේ නමක් වැඩල ඉන්නවා, ආකාසෙන් වඩින්නේ කියල. රජතුමා ඇමතිවරු අතේ පනිවිඩයක් යැව්ව මේ තාපසයන් වහන්සේට මාලිගාවට වඩින්ට කියල. ඊට පස්සේ රජතුමාගේ ආරාධනාව පිළිඅරගෙන අපේ බෝසතානන් වහන්සේ මාලිගාවට වැඩිය. රාජමාලිගාවට වැඩම කළාට පස්සේ රජතුමා දන්පැන් පූජා කරල ධර්මය අහල සතුටු වුනා. සතුටුවෙලා ආරාධනා කළා ”පින්වත් තාපසයන් වහන්ස, මට අනුකම්පා පිණිස මගේ උද්‍යානයේ වාසය කරන්න. මම සිව්පසයෙන් සලකන්නම්” කියල. ඊට පස්සේ තාපසයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා.
කලක් යනකොට රජ්ජුරුවන්ට යුද්ධයකට යන්න සිද්ද වුනා. රජ්ජුරුවො යුද්ධය සඳහා පිටත් වුනා. පිටත් වෙනකොට අග මෙහෙසියට කියා සිටියා ”තාපසයන් වහන්සේට හොඳින් උපස්ථාන කරන්ට” කියල. ඉතින් රජ්ජුරුවො යුද්ධයට ගියාට පස්සෙ තාපසයන් වහන්සේ ඉර්දියෙන් ආකාසෙන් වඩිනවා. දානෙ පිළිඅරගෙන ආපසු ගිහින් වළදනවා. එසේ වළඳලා ඒ උද්‍යානේ වාසය කරනවා. දවසක් තාපසයන් වහන්සේ දානට වඩින්ට තරමක් ප‍්‍රමාද වුනා. උන් වහන්සේ විඩිනකල් බිසවුන් වහන්සේ විවේකීව වාසය කළා. මේ අතරේ තාපසයන් වහන්සේ ඉර්දියෙන් වැඩම කළා. බිසවුන් වහන්සේ කලබලයට නැගිටල ආව. කලබලයෙන් නැගිටල ආපුනිසා ඇ‍ගේ තිබුණු ඇඳුම් ඈත් වෙලා ශරීරය නිරාවරණය වුනා. එතකොට තාපසයන් වහන්සේට මේ බිසවුන් වහන්සේගේ ශරීරය පෙනුන. ඒ සැනින්ම තාපසයන් වහන්සේගේ හිත කැලඹුනා. සමාධිය පිරිහුනා. ඉර්දි බලය නැතිවුනා. තාපසයන් වහන්සේට රාගය ඉපදුනා. ඉර්දි බලය නැතිවෙලා ගියා. උන්වහන්සේට විශාල සංවේගයක් ඇතිවුනා. තමන් ගැන තමන්ටම විශාල දුකක් ඇතිවුනා.
ඊට පස්සේ උන් වහන්සේ පින්ඩපාතෙ පාත‍්‍රය අරගෙන පා ගමනින්ම වැඩම කළා. උද්‍යානයේ තිබූ තමන්ගේ අසපුවට වැඩම කළා. ඊට පස්සේ පිණ්ඩපාතෙ වැලදුවේ නෑ. උන් වහන්සේ ඉතාම තියුණු කර්කශ දුක් විදිමින් වාසය කළා. රජ්ජුරුවෝ යුද්ධයට ගිහිල්ලා සතියක් ගතවුනා. ඒ සතියක් පුරාවටම උන් වහන්සේ දන් පැන් වැලඳුවේ නෑ. දානෙ පාත‍්‍රය එහෙම ම තිබුන. දානෙ ටික පාත‍්‍රයෙ තියෙද්දීම නරක් වුනා. පිලිනු වුනා. උන් වහන්සේ තියුණු කර්කශ දුක් විඳගෙන නින්ද නැතුව දිගා වෙලා වාසය කළා.
යුද්ධය අවසාන වෙලා රජ්ජුරුවො මාලිගාවට ආව. ආවම ආරංචි වුනා තාපසයන් වහන්සේ දානෙට වඩින්නෙ නෑ කියල. රජ්ජුරුවන්ට හොඳටම දුක හිතුන. කලබල වෙලා තාපසයන් වහන්සේ හොයාගෙන ගියා. ගිහින් බලන කොට තාපසයන් වහන්සේ ගිලන් ස්වභාවයෙන් යුතුව හාන්සි වෙලා හිටිය. රජ්ජුරුවන්ට බය හිතුන. අසනීප වෙලා වෙන්න ඇති කියල රජ්ජුරුවන්ට හිතුන. පිණ්ඩපාත දානයත් නරක් වෙලා. එතරම්ම දවස් ගානක් ගත වෙලා. පස්සේ රජ්ජුරුවො කතා කළා. තාපසයන් වහන්සේගෙන් ඇසුව ඇයි මේ කියල. තාපසයන් වහන්සේ ප‍්‍රකාශ කළා, ”පින්වත් රජතුමනි, මට ඊතල පාරක් වැදුන” කියල. රජ්ජුරුවන්ට බය හිතුන. රජතුමා කළබලෙන් ඇහුව ”ස්වාමීනී කොයි පැත්තෙන් ද ඊතලේ ආවේ” කියල. ඇයි රජ්ජුරුවො යුද්දෙකට ගිහිල්ලනෙ ආවෙ. රජ්ජුරුවො කල්පනා කළා හතුරෙක් මාව ඝාතනය කරන්ට බැරි නිසා මම ඉතාමත් ආදරය කළ තාපසතුමා ඝාතනය කරන්ට උත්සාහ කරල, කියල. තාපසයන් වහන්සේ ප‍්‍රකාශ කළා රජතුමනි මගේ හදවතටයි ඊතලේ වැදුනෙ. මම තියුණු දුක් විදිනවා කියල. ඊට පස්සේ ඇහුව කොහෙන්ද ඊතලේ ආවෙ කියල.
ඊට පස්සේ තාපසයන් වහන්සේ කියා දුන්නා පින්වත් රජතුමනි මේ ඊතලේ බැහැරින් ආවෙ නෑ. මගේ අභ්‍යන්තරයේ හට ගත්ත ඊතලයක්. මේක සිතේ හට ගත්ත ඊතලයක්. මගේ ඉන්ද්‍රියන් අසංවර වුනා. අසංවර වූ ඉදුරන් තුළින් ප‍්‍රිය නිමිති හිතට ආව. ඒ ප‍්‍රිය නිමිති සිහි කිරීමෙන් තමයි මේ ඊතල මගෙ පපුවට වැදුනෙ. රූපය මේ මේ විදිහට අලංකාරයි, අත්පා මේ මේ විදිහට අලංකාරයි, මූණ මේ මේ විදිහට අලංකාරයි කියල හිතද්දි මේ විතර්ක නැමැති ඊතල මගේ හදවත පසාරු කරගෙන ගියා. කාම රාගය කියන ගින්නෙන් මගේ මුලූ ශරීරයම දැවිල පිච්චිල ගියා. මට කිසි දෙයක් කර ගන්ට බැරි විදිහට මගේ ශරීරය දැන් දනව. ශරීරය හාත්පස මේ රාග ගින්නෙන් දැවෙනවා. සුභ නිමිති සිහි කිරීමෙන් ඒ කාම විතර්ක කියන ඊතල මගේ හදවත පසාරු කරගෙන ගිහින් මාව දැන් දැවෙනවා. රජතුමනි, ඔබතුමා මෙතනින් පිටත් වෙන්න මම අසුභ නිමිත්ත පුරුදු කරමින් මේ ගිනි නිවාගෙන සිසිල් වෙනවා. ඊට පස්සේ අපේ මහ බෝසතානන් වහන්සේ හිතට වීරිය ගත්ත. නැවත වතාවක් දන්පැන් නොවලදාම අසුභ නිමිත්ත සිහි කළා. සමාධිය උපදවා ගත්තා. නැවතත් ඉර්දි බලය ලබා ගත්තා. ආකාසෙන් වැඩිය රජ්ජුරුවො ගාවට. ගිහින් ප‍්‍රකාශ කළා ”මේ සුභ නිමිති ගනිමින් මේ කරන වාසය දුක උපදවන දෙයක්” කියල ධර්මය කියා දුන්න. උන් වහන්සේ නැවත වතාවක් හිමාලයට වැඩම කළා.
ඉතින් මේ කතා පුවත භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කර දීල ඒ භික්ෂූන් වහන්සේලාට මේ රාගය උපදින ආකාරය ගැන හා ඒ සම්බන්ධව තිබෙන භයානක ස්වභාවය ගැන කියල දුන්න. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙ කියා දුන්නේ, පින්වත් භික්ෂුව, මේ ඔබවගේ කෙනෙකුට පමණක් නෙමේ අතීතයේ වාසය කළ උතුමන් වහන්සේලාට පවා මේ රාග ගින්න ඇවිල්ල තියනවා. මේක භයානක දෙයක්. රාගය කියන්නේ ගින්නක්. හිත හාත්පසින් දවනවා. ශරීරය පවා ගිනි ගන්නවා. කිසි දෙයක් කර කියාගන්ට බැරිවන විදිහට මනුෂ්‍යයා අකර්මන්‍යය වෙනවා. ඒ නිසා මේ රාග ගින්න නිවා ගත යුතුයි. මේ රාග ගින්න නිවා ගැනීම පිණිස, සුභ නිමිති හිත හිතා ඉන්න ස්වභාවය වලක්ව ගන්ට ඕනැ. සුබ නිමිති හිතන ස්වභාවය වලක්ව ගැනීම පිණිස ඉන්ද්‍රීය සංවරය ඇතිකර ගන්ට ඕනැ. ඉන්ද්‍රීය සංවරය ඇති කරගෙන අසුභ නිමිත්ත හොඳින් පුරුදු කර ගන්නට ඕනැ. අසුබ නිමිත්ත හොඳින් පුරුදු කර ගැනීමෙන් ඉන්ද්‍රිය සංවරය බලවත් කර ගැනීමෙන් ඒ හිත දවන, හිත ගිනි ගන්න, මනුෂ්‍යයාව මුලූමනින්ම පුච්චල අලූකරල දාන රාග ගින්න නිවාගෙන නිවුන, සිසිල් වුනු, සංසිදුනු, අතිශයින් ම සුව පහසු ජීවිතයක් උපදවා ගන්ට පුළුවන් කම තිබෙනවා. අන්න ඒ උතුම් ජීවිතය උපදවා ගැනීම පිණිස එදා ඒ භාග්‍යවතුන් වහන්සේ කරුණු කියද්දී ඒ රාගයෙන් පීඩා විදිමින් පැවිද්ද අත හැරල ගිහි ගෙදරට යන්ට හිතූ ස්වාමීන් වහන්සේ අනාගාමී ඵලයට පත්වුනා. එතරම්ම මේ ධර්මය බලවත් දෙයක්.
ඒ නිසා පින්වතුනි අපිත්, භාග්‍යවතුන් වහන්සේ අපට මහා කරුණාවෙන් කියාදුන් අසුභ සංඥාව ඉතා හොඳින් පුරුදු කර ගන්න, ඉතා හොඳින් හිතේ පිහිටුවා ගෙන වාසය කරන්න උත්සහවන්ත වෙන්ට ඹ්න. ඒ අසුභ සංඥාව අපි හිතේ හොඳින් පිහිටුවාගෙන ඉතා හොඳින් පුරුදු කර ගත්තොත් එමඟින් අපිට අත්කර ගන්ට පුලූවන් ප‍්‍රතිලාභය ප‍්‍රමාණ රහිතයි. එමගින් අපිට ඉතාම සුව පහසු හිතක් උපදවා ගන්ට පුලූවන්. හිත සුව පහසුයි නම් කයෙන් සැප දැනෙනවා.
දැන් බලන්න පි‍්‍රය නිමිති සිහි කර කර කාම විතර්ක ඇති කර ගෙන කාම රාගයෙන් හිත ගිනි ගන්න කොට හිත පිච්චෙන කොට ශරීරය දැවෙනවා. දැන් මේ පින්වතුන් කල්පනා කරල බලන්න මේ පින්වතුන් කාම විතර්ක වලට යට වෙලා හිටි දවස් තිබුන නම් හිත විතරද ගිනි ගත්තේ. කය දැවුනෙ නැද්ද කියල බලන්න. රාගයෙන් හිත ගිනි ගන්න කොට ශරීරය දැවුනේ නැද්ද? කන්ට බැරුව, වතුර ටිකක්වත් බොන්ට බැරුව, ඇවිදින්ටත් බැරුව, ඉඳගෙන ඉන්ටත් බැරුව, හිටගෙන ඉන්ටත් බැරුව,නිදාගෙන ඉන්ටත් බැරුව, කතා කරන්නත් බැරුව, කිසි දෙයක් කර කියා ගන්නත් බැරුව අකර්මන්‍යය වෙලා ඇදගෙන වැටිල හිටියෙ නැද්ද? එදා ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා, සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි ඒ මහා බෝසතානන් වහන්සේට පවා සුභ නිමිත්ත සිහි කර කර ඉදීමෙන් රාගය ඉපදිලා එබඳු දුක් සහිත ඉරණම් වලට මූණ දෙන්ට සිදුවුනා කියල .
ඒ මහ බෝසතානන් වහන්සේ පවා ඒ ආකාරයට පීඩා විඳි බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ඇයි? අපිටත් වීරිය උපදවා ගැනීම පිණිසයි. මේක සරල දෙයක් නොවන බව කියා දීම පිණිසයි. මේ රාග ගින්න දුරු කර ගැනීම සරල දෙයක් විදිහට ගත්තොත් අපි මේ බණ භාවනාවන් අතහැරල දානවා. හීන වීරිය උපදවා ගන්නවා. මහ බෝසතානන් වහන්සේ කියන්නේ මහත් වූ ගුණ ධර්මවලින් සපිරි කෙනෙක්. අතිශය ගුණ ධර්මවලින් සපිරි කෙනෙක්. එබඳු අයටත් ඉන්ද්‍රී අසංවර වීම හේතුකොට ගෙන රාග ගින්න ඉපදිලා අකර්මන්‍ය වුනා නම් අනිත් අය ගැන කවර කතා ද කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ නිසා අපිට භාග්‍යවතුන් වහන්සේ ඉතාම කරුණාවෙන් මහත් වූ සෙනෙහසින් සිහිකර දෙනවා අසුභ සංඥාව හොඳින් පිහිටුවා ගෙන හොඳින් හුරුකර ගන්න කියල.
තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

1 comment: