Tuesday, July 10, 2012

Human beings are at a Critical point due to the Over Consumption


අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා

විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය. මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී ය.
බුදුරජාණන් වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය. තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

 
මේ ආදී ලෙස තමන් විසින් ම තමා ගේ විනාශය ළඟා කර ගන්නේ මනුෂ්‍යයා සිය අතෘප්තිකර ආශාවන් සපුරා ගැනීමට යාම නිසා ය. අප උත්සාහ කළ යුතු වන්නේ මේ කනගාටුදායක තත්ත්වය මනාව වටහා ගෙන මේ මොහොතේ පටන් හෝ නුවණින් කටයුතු කිරීමට ය. අප ගේ දරුවන් ද ඒ නිවැරැදි මාවතට යොමු කිරීමට ය. අවශ්‍යතාවන් ඉටු කර ගන්නට අපට ඕනෑ තරම් ස්වභාවික සම්පත් පහළ වී තිබේ.
ඒ සම්පත් අර පිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගෙන අනාගත පරම්පරාවේ පරිභෝජනය සඳහා ඉතිරි කළ යුතු වේ. තවත් අවුරුදු දහස් ගණනක් ඉදිරියට ප්‍රයෝජන ගත හැකිව තිබූ සම්පත් අප මේ වන විටත් ප්‍රයෝජනයට ගෙන අවසන් ය. අධි පරිභෝජනය නිසා ජල සම්පත, වන සම්පත, ඉන්ධන ආදී කොට ඇති සියලු ස්වභාවිත සම්පත් අහිමි වී යන තත්ත්වයකට පත්ව තිබේ. මේ මිනිසාත් නොදැනුවත්ව ම හඹා යන අසීමිත ආශාවන් ගේ භයානක ප්‍රතිඵලයන් ය. කවර මොහොතක මුළු ලෝකයට ම දැඩි අවධානම් තත්ත්වයකට පත්වීමට සිදුවේ දැයි කිව නොහැකි ය.
වැදගත් වන්නේ මේ මොහොතේ පටන් හෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීමය. මේ උතුම් ගාථා රත්නයෙන් කියැවෙන පරිදි කාමයන් හි යථාර්ථවාදී ස්වභාවය අපි තේරුම් ගත යුතු ය. අප ගේ ඇස පිනවීමෙන්, කන හා නාසය පිනවීමෙන්, දිව, ශරීරය පිනවීමෙන් කිසි කලෙකත් සෑහීමකට පැමිණිය නොහැකි බව අවබෝධ කර ගත යුතුය. එවිට ඒ අසීමිත ආශාවන්ගෙන් දුරු වී කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇත.
බුදුරජාණන් වහන්සේ පංච කාමය උදාහරණ කොට දක්වන්නේ මස් වැදැල්ලකටය. එක් ගිජු ලිහිණියෙක් මස් වැදැල්ලක් ගෙන එය ආහාරයට ගනු පිණිස අනෙක් ගිජු ලිහිණියන්ගෙන් දුරස්වන්නට ඉගිළී යයි. මස් වැදැල්ලේ ඉව වැටුණු ඒ ගිජු ලිහිණියෝ ද ඌ පසුපස හඹා යති. ඒ මොහොතේ දී පරාජය වන මේ ගිජු ලිහිණියා තම වරිගයේම මාරාන්තික ප්‍රහාරයන්ට ගොදුරු වේ. එසේත් නැතිනම් මරණයට පත්වන්නට සිදු වේ. පංච කාමයට ගොදුරුවන තැනැත්තාට අත්වන ඉරණම ද මෙබඳුය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඇස පිනවනවාට වඩා, ඇසෙන් රූප බලා සතුටු වෙනවාට වඩා රත් වූ යකඩයකින් ඇස අතුල්ලා ගැනීම යහපත් බවය. කාමයන් හි ඇලීමේ ආදීන ව එයින්ම අපට පැහැදිලි වේ.
ඇසට පි‍්‍රය උපදවන රූප දැකීමෙන්, කනට මිහිරි දෑ ශ්‍රවණය කිරීමෙන්, ශරීරය පිනවීමෙන් යම් ආශ්වාදයක් ලැබෙන බව සත්‍යය. එහෙත් ඒ ආශ්වාදය යම් මොහොතකට පමණි. අප උත්සාහ කළ යුතු වන්නේ ඒ ආස්වාදයන් ගේ ආදීනව තේරුම් ගෙන ඒ ආශාවන් පසු පස හඹා යාමෙන් වැලකීමට ය. පංච කාම වස්තූන් හි ඇළීමෙන් බැහැර වීමට ය. එය නිස්සරණ නම් වේ.
කරණීය මෙත්ත සූත්‍රයේ දී ද තථාගතයන් වහන්සේ අපට ලද දෙයින් සතුටු වීම ගැන කියා දේ. එහෙත් යථෝක්ත ගාථා රත්නයෙන් කියැවෙන පරිදි මිනිසාට නම් කහවනු වැස්සක් වැස්සත් කාමයන් ගේ තෘප්තියක් ඇති නොවේ.
මුදල් පසු පස හඹා යන පුද්ගලයා සිය ධනය වැඩි කර ගන්නට කල්පනා කරනවා මිස ඒ ධනෝපායන මාර්ගයන්ගෙන් සමාජයට වන යහපත අයහපත ගැන තැකීමක් නැත. පරිසරයට සිදුවන විනාශය ගැන සිතන්නේ නැත. වංචාවෙන්, කපටිකමින්, අහිංසක සේවකයන් ගේ ශ්‍රමය සූරා ගනිමින් සමාජයේ ඉහළ තලයේ වැජඹෙන බොහෝ පිරිස් ඔබ දැක ඇත.
තමන් ගේ සුඛ විහරණය පමණක් සලකන මේ අය අනුන් ගේ දුකේ දී පිහිට වන්නේ නැත. තවත් කෙනෙක් මිය යන මොහොත දක්වාම සිය ඉඩකඩම්වල සතර මායිම් ආරක්‍ෂා කරනවා විනා ධර්මයට යොමු වීමට කල්පනා කරන්නේ නැත.
ධන ධාන්‍යයෙන් ආඪ්‍යව බොහොම වාසනාවන්ත ජීවිත ගත කරනවා සේ පෙනුණද මේ පුද්ගලයින් ගේ ඉරණම ඉතා අවාසනාවන්තය. ධනය, කුලය හා බලය පසුපස, රූපය හා ජනපි‍්‍රයකම පසු පස හඹා ගොස් පින් දහම් නොකර, මනස දියුණු නොකර කටයුතු කළ ඒ පුද්ගලයා දුගතියේ මිස සුගතියේ උපත ලබන්නේ නැත.
ලෞකික ජීවිතයේ සැප සම්පත්වලින් සම්පූර්ණයෙන් ම බැහැර විය යුතු බව මින් අදහස් වන්නේ නැත. යම් පුද්ගලයකු වෙත ආර්ථික ශක්තියක්, නිලතල, බලතල, ජනපි‍්‍රය බව තිබීම යහපත් ය. නුසුදුසු වන්නේ ඒවායේ අතෘප්තිමත් පුද්ගලයෙක් වීම ය. සැප සම්පත්වල සීමා මායිම් තේරුම් නොගත්තේ නම් ඔහුට අනිවාර්යයෙන් ම පසුතැවිලි වන්නට සිදු වේ.
මසුන් හිඳුණ විලක් දෙස බලා සිටින වයස්ගත කොකෙකු සේ අසරණ වන්නට සිදු වේ. අප ගත කරන තුන් යාමයෙන් එක් යාමයක දී හෝ ධර්මයට යොමු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ නිසයි. එනම් කුඩා අවදියේ හෝ, මැදි වියේ හෝ, වයස්ගත වී හෝ යන මේ එක් අවස්ථාවක දී වත් ධර්ම මාර්ගයට යොමු වීමට අප උත්සාහ කළ යුතුය.
’පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පින නම් නො පමාවම කර ගන්නේ’
ලෝවැඩ සඟරාවේ දැක්වෙන ලෙස තණ පතක් අග රැඳි පිනි බිඳුව කවර මොහොතක ඉන් ගිලිහී යා දැයි කිව නොහැකි ය. අප ගේ ජීවිතය ද එබඳු ය. කවර මොහොතක මේ ජීවිතය, ගොඩ ගසා ගත් සැප සම්පත් හැර යන්නට සිදුවේදැයි අපි නොදනිමු. පමා නොවී ධර්ම මාර්ගයට යොමු විය යුතු වන්නේ මේ නිසා ය.
සුප්‍ර‍්‍රබුද්ධ රජතුමා සිය මාලිගයෙහි පහත මාලයෙහි පඩිපෙළ මුල දී මිය යන බව දිවැසින් දුටු තථාගතයන් වහන්සේ දින හතකට පෙර ඒ බව ප්‍රකාශ කළහ. බුදුරදුන් ගේ වචනය බොරු බව ඔප්පු කිරීමට රජතුමා මාලිගයේ සත්වන මාලයට නැඟ සියලු දොරටු වසාගෙන සිටියේ ය. සත්වන දින උදාවිය. රජු ගේ මගුල් අසු මත්ව කිසිවකුටත් ඌ හික්මවා ගත නොහැකි වූයේ ය. මඟුල් අසු හික්මවා ගත හැකි වන්නේ තමන්ට පමණක් යැයි සිතූ රජතුමා සියලු දොරවල් අරිමින් පහත මාලයට බැස්සේ ය.
එතැන දී රජු දරුණු ලෙස මරණයට පත් වූයේ ය. මේ කතා පුවතින් අප අවබෝධ කර ගත යුතු වන්නේ කුමක් ද? කවර තැනක සැඟවී සිටියත් මාරයාගෙන් බේරීමට කිසිවෙකුටත් හැකියාව නොමැති බවය. අප පින් දහම් කිරීමට පමා නොවිය යුතු වන්නේ මේ නිසා ය. ආශාවන් පසු පස ලුහුබැඳ නො ගොස් විමුක්තිය කරා යාමට තිබෙන්නේ එක මාවතකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ජීවිතයේ ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට නම් අප තෝරා ගත යුතු වන්නේ ඒ මාර්ගයයි.
පංච කාමය පිනවීමට, අප අතෘප්තිමත් කරවීමට අද බොහෝ මාවත් විවෘත වී තිබේ. ඇස පිනවීමට විවිධ රූපය. දිව පිනවීමට පෙර නොදුටු විරූ ආහාරය. එහෙත්, මේවායේ කිසි කලෙකත් සීමාවක් නොදකින මිනිසා ගේ සිත් සන්සුන් කිරීමට, මානසික තෘප්තිමත් බවක් ඇති කිරීමට, ලද දෙයින් සතුටු වී ජීවිතය හැඩ ගස්වා ගැනීමට මං මාවත් හෙළි පෙහෙළි කර දෙන්නේ මොන තරම් සුළු පිරිසක් ද?
මුළු ලෝකයක් ම යටිගං බලා යන යුගයක උඩු ගං බලා පිහිනන්නට අත දෙන්නට වෙහෙසෙන්නේ කොපමණ සුළු පිරිසක් ද? ඒ අයුරින් පටිසෝතගාමී මාවතක් ලෝකයට පෙන්වා දුන් ශ්‍රේෂ්ඨතම ශාස්තෲවරයාණන් වහන්සේ අප සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් මේ උතුම් ගාථා රත්නයෙන් කියැවෙන පරිදි අතෘප්තිමත් බවට පත්වන පංච කාමයන්ගෙන් මිදී, එය මිරිඟුවක් බව දැන, කල්ප ගණන් දුක් විඳීමට සිදුවන දෙයක් බව දැන නිරාමිශ ලෝකයක් කරා පිය නැඟීමට අප සියලු දෙනා ම උත්සාහ කළ යුතුය.

No comments:

Post a Comment