මේ
ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි
මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන
ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින්
සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම
සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු
බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින්
මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම්
දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන්
ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ
පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ
උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ
අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා
ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත්
කිරීමට මට ඉඩ දුන මැනවි!මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක් ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක් ජීවිතයේ දකින්නේ එක් අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක් බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක් තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ.
මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස් රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස් රූපයක් පමණක් නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක් පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස් දුහුවිල්ලක්, ගින්දරක්, සුළඟක් ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ.
