Wednesday, December 9, 2015

Akusal - 02 (ප්‍රධාන අකුසල් මූල වලින් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග)

ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල

ක්‍රෝධය
අන්‍යන්ට රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින් සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක් ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව.


උපනාහය
නැවත නැවත සිතීම නිසා ‍හෝ ක්‍රියා කිරීම නිසා පරණ වූන ක්‍රෝධයට උපනාහය කියල කියනව. වෛරය, එදිරිය යන වචන වලින්ද උපනාහය හඳුන්වනව. මේක දීර්ඝ කාලයක් පවතින අකුසලයක් සමහර වෙලාවට ආත්ම ගණනක් යනතුරුත් පවතින්න පුළුවන්. ආත්ම බොහෝ ගණනක් පවතින වෛරයක් හෙවත් උපනාහයක් හේතුවෙන් විශාල කාලයක් නිරයේ සිදුවීමට ඇති ඉඩ කඩද වැඩි වෙනව. අවසන් නොවන අකුසලයක් හින්ද මේක ගොඩක් අන්තරාදායක දෙයක්. ඒක නිසා හොඳම දේ තමා වෛරයක් ඇති වුනොත් ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නෙ නැතුව සමාදාන වෙලා ඉවරයක් කරගන්න එක. සමාදාන වීම හැර වෙනත් විකල්පයක් මෙයට නැහැ.

මක්ඛය
අනුන් විසින් තමන්ට කරපු උපකාර අමතක කිරීම නැතිකර දැමීම මක්ඛය කියල හඳුන්වනව. කළෙහි ගුණ නොසැලකීම කියල කියන්නෙත් මේකටම තමයි. තමන්ට දියුණු වෙන්න උදව් කරපු අයව අපි හැමදාම මත‍කයෙ තියාගන්න ඕනෙ. ඒ අයට උදව් උපකාර අවශ්‍ය වෙලාවකට උපකාර කිරීම අපගේ යුතුකමක්. ඒවගේම සත්පුරුෂ ගතියක්.

පලාසය
තමාව ‍ගුණවත් අය සමඟ සමාන කර සිතන ස්වභාවය පලාසයයි. තමන්ගෙ තත්වය වටහා ගන්න තරම් අ‍වබෝධයක් නොමැති අය, දුශ්ශීල වුන තමන්ව සිල්වත් අය සමඟ සමාන කරල හිතන්න පටන් ගන්නව. නූගත් වූ තමන්ව උගත් අය සමඟ සමාන කරනව. දුබල වූ තමන්ව බලවතුන්ට සමාන කරනව. දුප්පත් වූ තමන්ව පොහොසත් අයට සමාන කරනව. මේකෙ ගැටළුව තියෙන්නෙ සමාන කරල නිකන් ඉන්නෙ නැහැ. ඒ අය ගරු කළ යුතු අයට ගරු කරන්නෙ නැහැ. කීකරු විය යුතු අයට කීකරු වෙන්නෙ නැහැ. අවවාද අනුශාසනා දෙන අයව ගනන් ගන්නෙ නැහැ. මෙහෙම කටයුතු කරමින් ඉඳල මෙලොව පරලොව දෙකේම පිරිහෙනව.

ඊර්ෂ්‍යාව
අනුන්ගේ දියුණුව, සැප සම්පත් වලින් යුක්ත බව නුරුස්නා ස්ව‍භාවය ඊර්ෂ්‍යාවයි. බාහිර දියුණුව විතරක් නෙමෙයි කෙනෙකුගෙ අභ්‍යන්තර දියුණුව වුනත් දැකීමට අකමැති අය ඉන්නව. නිතර සිල් ගන්න බණ භාවනා කරන පින් දහම් කරන අයගේ අධ්‍යාත්මික දියුණුව දැකල ඒවාට පවා ඊර්ෂ්‍යා කරනව. තමන්ට කරගත නොහැකි දේවල් අනිත් අය කරන ආකාරය ඉවසගෙන ඉන්න බැරිකම බොහෝ අවස්ථාවල මේකට හේතුවෙනව.

මාත්සර්‍ය්‍යය
තමන්ගෙ දෙයක් අනුන්ට අයිති වෙන්න හෝ එයින් අනිත් අය යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවට තියන අකමැත්ත මාත්සර්‍ය්‍යයයි. මේකට මසුරුකම කියලත් කියනව. සමහර මසුරු අය තමුන්ගෙ දේවල් විතරක් නෙමෙයි වෙනත් කෙනෙක් ඒ කෙනාගෙ දෙයක් අනුන්ට දෙනවටත් අකමැතියි. ඒකට කියනව තද මසුරැකම හෙවත් කදරියතාව කියල. මේ වර්ග දෙකේම මසුරු අය ඉන්නව. ඒ අය තමන් දෙන්නෙත් නැහැ අනිත් අය දෙනවට කැමතිත් නැහැ. තමන් පින් කරන්නෙත් නැහැ අනිත් අයට පින් කරන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට විශාල පිනක් කරගන්න හදන කෙනාට එක එක දේවල් කියල කුඩා පිනක් ලැබෙන ආකාරයේ දෙයක් කරවනව. මේවගේ දේවල් වලින් ගොඩක් අකුසල් රැස් කරගන්නව.

මායාව
තමන් නොයෙක් අකුසලයන් පව් කම් කරන ගමන් සමාජයේ ඉදිරියේ ගුණවතෙක් වගේ පෙනී සිටිමින් අනිත් අයව රවටන ස්වභාවය මායාවයි. අදක්ෂ අය දක්ෂ අය ලෙස පෙනී සිටීම. නූගත් අය උගතුන් සේ පෙනී සිටීම. දුප්පත් අය පොහොසතුන් මෙන් පෙනී සිටීම වගේ නොයෙක් ආකාර ‍වලිනුත් මේ මායාව දකින්නට පුළුවන්. ඉතින් සමාජය මේ අයට රැවටිලා නොයක් ගරු නම්බු තණතුරු ආදිය ලබා දෙනව. පස්සෙ ඇත්ත තත්වය දැන ගත්ත ගමන් මේ අය දුකට කරදරයට පත් වෙනව.

සාඨෙය්‍ය
බොරු හිතවත් කම්, බොරු නෑකම්, බොරු මිතුරුකම්, බොරු මෛත්‍රිය, බොරු කරුණාව ආදිය දක්වමින් අනුන් රවටන ස්වභාවය. තමාගේ කටයුතු කරගැනීම පිණිස තාවකාලිකව නැති ගුණ ඇති අයුරින් පෙන්වීම සාඨෙය්‍ය කියල හඳුන්වනව. කෛරාටිකයා කපටියා යන වචනද මේ යටතට වැටෙනව. යම් යම් අයගේ හිත සතුටු වන ආකාරයට කතා කරමින් ක්‍රියාකරමින් සිත් දිනාගෙන ඔවුන්ගෙන් ගතහැකි වස්තුවක් හෝ වැඩක් හෝ තමන්ගේ වාසිය පිණිස යොදාගැනීම මේ අයගෙ ගති ලක්ෂණයි. කෛරාටිකයා මොහොතකට වාසි ලැබුවත් එය දීර්ඝ කාලීනව දුකකට හේතුවෙනව.

ථම්භය
කීකරු විය යුත්තාට හෝ කීකරු විය යුතු අවස්ථාවන් වලදී නෙනැමෙන සුළු බව අකීකරුකම ථම්භයයි. ධර්මයට හෝ මා පිය ගුරුවරාදීන්ට නැමිය යුතු අවස්ථා වලදී නෙනැමීම නිසා, කීකරු නොවීම නිසා, මුරණ්ඩු වීම නිසා නෙයෙකුත් කරදර විපත් වලට මුහුණ දීමට සිදුවෙනව. වැරදි තීරණ අරගෙන දෙමව්පියන්ට අකීකරුව සිදු කරන ලද වැරදි හේතුවෙන් ජීවිත කාලය තුළම සිරගෙවල් වල ආදියේ වෙසෙමින් නොයෙක් දුකට පීඩාවන්ට පත්වනන් ඉන්නව.

සාරම්භය
අනුන් යටපත් කීරීමේ කැමැත්තෙන් අනුන්ට ඉහලින් වැඩ කරන ස්ව‍භාවය සාරම්භයයි. සාරම්භය තියන කෙනා අනිත් අය යම් දෙයක් එක වරක් කරන කොට එයා දෙතුන්වරක් කරනව. කෙනෙක් මලක් පූජ කරන කොට මෙයා මල් වට්ටි දහයක් පූජ කරනව. කෙනෙක් රුපියලක් වියදම් කරන කොට මෙයා රුපියල් දාහක් වියදම් කරනව. කෙනෙක් වචනයකින් අපහාස කළොත් මෙයා වචන දහයකින් දොළහකින් බණිනව. අතින් ගැහුවොත් පොල්ලකින් ගහනව නැත්නම් පිහියකින් අනිනව. ඒත් අනුන් යටපත් කරල තමන් ඉහළින් සිටීමේ අදහසකින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරී‍‍මෙත්, අනුන්ට වඩා හොඳින් පින් කිරීමෙත් කිසි වරදක් නැහැ.

මානය
තමා අන්‍යයන්ට වඩා වටිනා වැදගත් කෙනෙක් යනුවෙන් තමා උසස් කොට මැනගන්න ස්වභාවය සරලව මානය කියල හඳුන්වනව. මානය තවත් විග්‍රහ ‍කලොත් කොටස් 3 යුතුයි. සෙය්‍යමානය - තමා උසස් කෙනෙක් කියල උපදින උඩඟුකම. සදිස මානය -තමා අන්‍යන් හා සමානයයි කියල උපදින උඩඟු බව. හීන මානය- තමා පහත් කෙනෙක් යනුවෙන් ඇතිවන ලැජ්ජාව.

අතිමානය
බලවත්කම් ධනවත්කම් උගත්කම් ආදිය නිසා සාමාන්‍ය මානය වර්ධනය වීමෙන් අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට කතා කිරීම ක්‍රියාකිරීමට පටන් ගන්නා වූ මානය අති මානයයි. "මම තමයි මෙහි සිටින ඉහලම කෙනා අනිත් අය කවුද මට උපදෙස් දෙන්න" ‍වගේ මෝඩ අදහස් වලට ලක් වීමෙන් නොයෙක් කරදර වලට මුහුණපෑමට සිදුවෙනව.

මදය
කුලය බලය පොහොසත් කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇතිවන මත්වීම මදය ලෙස හඳුන්වනව. මානයෙන් මත්වුන අය මත්ද්‍රව්‍ය වලින් මත් වුන අය වගේම කළ යුතු දේවල් නොකර, නෙකළ යුතු දේවල් කරන්න ගිහින් දුකට කරදරයට පත්වෙනව. මත්ද්‍රව්‍ය වලින් මත්වන ගතිය තියෙන්නෙ පැය කිහිපයක්. ඒත් මදයෙන් මත් වුනහම අවුරුදු ගනන් පවතිනව සමහර වෙලාවකට මැරෙන තුරුත් පවතින්න පුළුවන්.

ප්‍රමාදය
කුසල් සිදුවන දේවල් පිළිබඳව අමතක කරල දාල අකුසලයට යොමු වී පස්කම් සැප විඳිමින් සිතට අවශ්‍ය ආකාරයට හැසිරීමට ඉඩදීම ප්‍රමාදයයි. ප්‍රමාදය හේතුවෙන් නිරයේ ඉපදෙමින්, දුක් විඳිමින්, පීඩාවට පත් වෙමින්, සසර සැරිසරමින් සිටීමට සිදුවෙනව. ප්‍රමාදයෙන් වැලකුන කෙනා සසර ජය ගන්නව.

Source : දහම් සෙවණ

No comments:

Post a Comment