Wednesday, December 9, 2015

Akusal - 01 (සිතේ ඇතිවන ප්‍රධාන අකුසල් )

සිතේ ඇතිවන අකුසල් සරලව

ලෝභ ‍ද්වේෂ මෝහ යන මේ අවස්ථා තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල් සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල් සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක් හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින් සිදු වෙන්නෙ අකුසලයක්.



ලෝභය


රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලට ඇලුම් කරන ආසා කරන ස්වභාවයට කියනව ලෝභය කියල. සරලව කියනවනම් ගේ දොර වතු පිටි ඉඩකඩම් යාන වාහන නිළතල අඹු දරුවන් මතිමතාන්තර ආදි වූ සැපගෙන දෙන සිත සතුටු කරවන හොඳයයි සලකන පුද්ගලයන් වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයයි. පරමාර්ථ වශයෙන් ගත්තම එක දෙයක් වුනත් ව්‍යාවහාර භාෂාවේදී නොයෙක් නම් වලින ලෝභය හඳුන්වන ආකාර ගොඩක් තියනව. යමක් රස විඳී‍මේ ලෝභයට ආසාව, පෙරේතකම, සල්ලාලකම, රාගය, කුණූකම, මසුරුකම වගේ වචන බොහෝ ගනනක් පාවිච්චි කරනව. අඹු දරුවන් නෑ මිතුරන් සම්බන්ධයෙන් ඇති ලෝභයට ආදරය, ප්‍රේමය, ස්නේහය,වගේ වචන පාවිච්චි කරනව. ධර්මය ගැන නොදන්න අය මෛත්‍රිය, කරැණාව යන වචනත් ලෝභයට ආදරයට සමාන කරල දක්වනව. මෛත්‍රිය කරුණාව ලෝභසහගත සිතක ඇතිවන තත්වයක් නෙමෙයි. සමහර අය ලෝභය "ඕනෑකම" කියන වචනයත් එක්ක පටලවා ගන්නව. ඕ‍නෑකම කියන්නෙ ලෝභය නෙමෙයි, "සිල් ගන්න ඕනෙ", "භාවනා කරන්න ඕනෙ". "නිවන් අවබෝධ කරගන්න ඕනෙ", වගේ අදහස් ලෝභය නෙමෙයි.

ද්වේශය


අප අකමැති පුද්ගලයන්, වස්තූන්, ගුණයන්, ක්‍රියාවන් නුරුස්නා ස්‍ව‍භාවය නැතහොත් ඒවාට විරුද්ධ වන, ගැටෙන ස්වභාවය ද්වේශය කියල හඳුන්වනව. ද්වේශයටත් අප එදිනෙදා ජීවිතයෙ ගොඩක් වචන පාවිච්චි කරනව. ක්‍රෝධය, වෛරය, පිළිකුල, නොසතුට, භය, කණගාටුව, තරහව. ද්වේශය බලයෙන් තමන්ට සමාන වන කෙනෙක් ගැන හරි තමන්ට වඩා දුබල කෙනක් ගැන නුරුස්නා නැත්නම් විරැද්ධවන ස්වභාවයකින් පහළ වෙනව ඒකට කියනව ක්‍රෝධය කියල. තමන්ට වඩා බලවත් කෙනෙක්ට හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න බැරි කෙනෙක් ගැන ද්වේශය පහළ වුනොත් එම බලවත් කෙනාගෙන් ඈත්වෙන පසුබසින ස්වභාවයකින් යුක්ත වෙනව. ඒ අවස්ථාවට කියනව බය කියල. දීර්ඝ කාලයක් තිස්සෙ නැවත නැවත උපදිමින් තියන ද්වේශයට කියනව වෛරය කියල. කිසියම් පුද්ගලයකු ගේ හරි වස්තුවක තියක අශෝභනත්වය නැත්නම් අවලස්සන නිසා ඇතිවන ද්වේශයට කියනව පිළිකුල කියල.

මෝහය

යම් කිසි දෙයක හෝ කරුණක පවතින ස්වභාවය නැතහොත් සත්‍ය ස්වභාවය වරදවා වටහාගන්නා වූ මානසිකත්වයට කියනව මෝහය කියල. මුළාව, නොදැනීම, වැරදීම,මෝඩකම යන වචන වලින් මෙය හඳුන්වනව.දුක් සඳහා පවත්නා කරුණූත් සැප සඳහා පවත්නා කරුණුත් වෙන්කර දැක්වීමට ඇති නොහැකි බව, සත්‍යය අසත්‍ය හැටියටත් අසත්‍යය සත්‍ය හැටියටත් පෙනීම ආදී වශයෙන් මෝහය තවත් ක්‍රම වලින් විග්‍රහ කරන්න පුළුවන්. තමන් කරන කියන දේ නුවණින් විමසා බලා නොකිරීම හේතුවෙන් බොහෝ විට මෙම අකුසලය සිදුවෙනව. මෝහයෙ ගැඹුරු තේරුම් තියනව මෙතනදි සරලව පහදා දෙන්නයි අවශ්‍ය වුනේ.

Source : දහම් සෙවණ

No comments:

Post a Comment