Friday, September 16, 2011

Noselwena shraddhawa Upadawa ganimu


පහුගිය ලිපියෙන් අපි මේ පින්වතුන්ට කියා දුන්නා, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට, අකුසල විතර්ක හටගත්තහම ඒ අකුසල විතර්ක දුරුවෙන ආකාරයට එහි ආදීනව සිහි කරන ආකාරය. මේ විදිහට කලක් අකුසල විතර්ක බැහැර කිරීම පුරුදු කරන කොට ඒ අකුසල විතර්ක බැහැර වෙන්ට පටන් ගන්නවා. එයා තව දුරටත් සිහි නුවණ දියුණු කර ගන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ විදිහට සිහි නුවණින් යුක්තව සේඛ බල පුරුදු කරමින් අකුසල විතර්ක බැහැර කර ගන්ට කටයුතු කරන කොට, අකුසල විතර්ක ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙලා යනකොට, එයාට සුව පහසුවක් ඇති වෙනවා. අකුසල විතර්ක නිසා ඇති වුන පීඩා නැති වෙලා යනවා. කාම විතර්කවලින් ව්‍යාපාද විතර්ක වලින් විහින්සා විතර්ක වලින් ඇතිවුන පීඩා අඩුවෙන්ට පටන්ගන්වා.

එතකොට මුලින්ම කළේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා. ඊළඟට එයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමින් අකුසල විතර්කය හඳුන ගන්ට මහන්සි වුනා. දැන් ඒ විදිහට මහන්සි වෙනකොට ටික ටික අකුසල විතර්ක දුරු වෙන්ට පටන් ගන්නවා. එයාට දැන් සුව පහසුව ඇති වෙනවා. දැන් එයාට තේරෙනවා එයා තුළින් අකුසල විතර්ක දුරුවෙනවා කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්ත විශ්වාසය, ඒ අවබෝධය අදහා ගැනීම එයාට තහවුරු වෙනවා. කලින් භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත්තා. අදහාගෙන පුරුදු කරගෙන යනකොට එයාටම තේරෙනවා මේ ධර්මය පුරුදු කරන කොට අකුසල විතර්ක බැහැරවෙලා යනවා කියල. දැන් එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය හරි කියන විශ්වාසය තහවුරු වුනා. එතකොට එයා මුලින්ම ඒ නිවන් මග හරි කියලා අදහා ගත්තා. නිවන් මග පුරුදු කළා. පුරුදු කරන කොට එයාට තේරෙනවා නිවන් මග හරි කියල.
දැන් එයාට තව කෙනෙකුගේ සහතිකයක් ඕනැද? එයා තුළ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම අඩුවෙනව ද බලවත් වෙනවද? බලවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම බලවත් වෙන්ට වෙන්ට ඒ නිවන් මග ගැන, සද්ධර්මය ගැන පැහැදීමට මොකද වෙන්නේ? බලවත් දෙයක් බවට පත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම බලවත් වුනා, නිවන් මග කෙරෙහි පැහැදීම බලවත් වුනා, එතකොට ඒ නිවන් මග පුරුදු කරන අය ගැන මොකද හිතන්නේ? මේ ධර්මය පුරුදු කරන අය රාග, ද්වේෂ, මෝහ දුරුකරන ප‍්‍රතිපදාවෙන් යුක්තයි කියන විශ්වාසය එයා තුළ තහවුරු වෙනවා. කොහොමද ඒ තහවුරු වුනේ? තමන් තුළින් තමන් ම දැක්ක. තමන් ම දැක්කේ කොහොම ද? තමන් ප‍්‍රතිපදාවට පැමිණීමෙන්.
තමන් නිවන් මග විශ්වාස කළා. ඒ ධර්මය අදහා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තා. තමන් ම ඒක පුරුදු කරගෙන යනවා. පුරුදු කරන කොට තමන්ටම තේරෙනවා මෙය සත්‍යයි. ඒ සත්‍යය ගැන අදහස තමා තුළම පිහිටනවා. එතකොට එයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. ධර්මය කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. ඒ ධර්මය පුරුදු කරන්නා වූ ආර්ය මහා සඝ රුවන කෙරෙහි පැහැදීම ස්ථිර දෙයක් බවට පත්කර ගත්තා. දැන් එයා තුළ තව කෙනෙකුට වෙනස් කරන්න බැරි පැහැදීමක් ඇති වෙලා. තව කෙනෙක් ඇවිල්ල කිව්වොත් එහෙම ඔය ධර්මය පුරුදු කරල හරියන්නේ නෑ, ඔය ධර්මය පුරුදු කරනවා කියල කිව්වට ඒ අය රාග, ද්වේෂ, මෝහ දුරු කරන අය නෙමෙයි කියල එයා පිළිගනියි ද? පිළිගන්නේ නෑ. ඇයි ඒ? තමන් ඒ ගැන දන්නව හොදින්ම. අන්න ඒ විදිහට පුරුදු කර ගන්න කෙනා තුළ ඒ ශ‍්‍රද්ධාව වෙනස් කළ නොහැකි දෙයක් බවට පත් වෙන්නේ ඒ විදිහටයි.
එහෙනම් අපට ඒ සදහා උපකාර වුනේ ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප‍්‍රඥා බලය. ඒ නිසා මේ පින්වතුන් තව දුරටත් හොදින් බලවත් ව විශ්වාසය උපදවගෙන සේඛ බල ඇතිකර ගන්න බලන්න. එතකොට අපිට සේඛ බලවල පිහිටා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේ අකුසල විතර්ක බැහැර කර ගන්ට පුළුවන්් කළක් එනවා. එතකොට ඒ විතර්ක බැහැර කරන්ට අපි කොහොමද කල්පනා කළ යුත්තේ? ඒ විතර්කවල ආදීනවය සිහිකිරීම.
අපි කාම විතර්ක ගැන කතා කළා. එතකොට ව්‍යාපාද විතර්ක ගැන කොහොමද හිතන්නේ? තරහ සිතුවිළි හටගන්නකොට එයා තේරුම් ගන්ට ඕනැ දැන් මගේ හිතේ තරහ සිතුවිල්ලක් ඉපදිලා තියෙන්නේ. මේක අකුසලයක්, දුක් සහිතයි. දුක් විපාක සහිතයි. දුක් විපාක ඇතිකරල දෙන දෙයක්. මේ විතර්කයෙන් මගේ හිත අපිරිසිදු වෙනවා. එකඟ වෙන්නේ නෑ සමාධිය ඇති කරන්නේ නෑ. නිවන පිණිස උදව් වෙන්නෙ නෑ කියල ආදීනව සිහි කරන්ට ඕනැ. එතකොට කළකදී ඒ විතර්ක බැහැර වෙලා යනවා. දුරුවෙලා, නැති වෙලා යනවා. එතකොට විහිංසා විතර්කයක් ආපු වෙලාවටත් ඒක හඳුන ගන්ට ඕනැ. මේ විහිංසා විතර්කයක්. මේක අකුසලයක්. දුක් උපදවන දෙයක්. මේ විතර්කය හිත අපිරිසිදු කරන දෙයක්. හිත එකඟ කරන්නේ නෑ. මට සමාධිය උපදවල දෙන්නේ නෑ. නිවන පිණිස උදව් වෙන්නෙ නෑ කියල එයා කල්පනා කරන්ට ඕනැ.
ඒ විදිහට මේ අකුසල විතර්ක හඳුනගෙන ඒ කුසල විතර්කවල ආදීනව සිහි කරන කෙනා යම් කලකදී ඒ අකුසල විතර්ක බැහැර කරගෙන පිරිසිදු සිතක් ඇතිකර ගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ ම එයාට කුසල් සිතුවිලි හඳුන ගෙන ඒවා පුරුදු කරන්නත් එයාට පුළුවන්කම ලැබෙනවා. අන්න එයාට සමාධිය උපදවා ගන්ට පුළුවන් කලක් එනවා. ඒ නිසා මේ හිත පිරිසිදු කරගන්න ආකාරය, ධර්මය පුරුදු කර ගන්න ආකාරය ගැන මේ විදිහට හොඳට තේරුම් ගන්න.
නමුත් මේ ධර්මය කථා කරන තරම් කියන තරම් පුරුදුකිරීම පහසු නෑ. ඒ නිසා තමයි අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි බලවත් විශ්වාසයක් ඇතිකර ගත යුත්තේ. ඇයි බලවත් විශ්වාසයක් ඇතිකර ගත යුත්තේ? අපිට වෙන ක‍්‍රමයක් නෑ මේ අකුසල්වලින් ගැලවෙන්න. සේඛබල ඇතිකර ගනිමේන් අපි ඒ ඒ වෙලාවෙදි එන අකුසල විතර්කය බැහැර කළොත් තමයි හිත පිරිසිදු කර ගන්ට පුළුවන් වෙන්නේ. ඒ ඒ වෙලාවෙ එන අකුසල විතර්කය ගැන අකමැත්ත උපදවා ගත්තොත් තමයි හිතේ අකුසල් හට ගන්න ආකාරය බැහැර කරගෙන හිත යහ මගට ගන්ට පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් අපි ඒ ඒ වෙලාවෙදි සේඛ ධර්ම පුරුදු කරමින් ම වාසය කළ යුතුයි නේද? අන්න ඒ විදිහට වාසය කරන කෙනාට යම් කලක දී සමාධිය උපදවා ගන්ට පුළුවන් කලක් එනවා. ඒ නිසා සේඛ ධර්ම ගැන හොදට ඉගෙන ගෙන සේඛ ධර්ම හොදින් පුරුදු කර ගන්න. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයෙක් බවට පත් වෙන්ට පුළුවන්කම තිබෙනවා.
අපි සියලු දෙනාටම ආශිර්වාද කරනව දුක් උපදවන නිරයේ උපතක් ඇති කරන්ට හේතුවෙන, අකුසල විතර්කයන් දුරු කිරීමට උවමනා කරන උතුම් සේඛ බල උපදවාගැනීමට සියලු දෙනාටම වාසනාව උදාවේවා කියල.
තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

No comments:

Post a Comment