අධි පරිභෝජනය නිසා ලෝකයම අවදානමකට පත්වෙලා
විචිත්‍ර ධර්ම කථික පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
පසුබිම් කතාව
සැවැත් නුවර විසූ එක් කුල දරුවකු සසුන් ගත විය. ඒ නම තරුණ
වියේ දී පියා මහලුව අසනීප විය. මිය යන්නට ආසන්න මොහොතේ පැවිදි පුතු දැකීමට
ආශා වූ පියා උන්වහන්සේ ගෙන්වා සතුටු වන්නේ. සිවුරු පිරිකර ගැනීම සඳහා බාල
පුතුට මසු සියයක් දෙන්නේ ය. බාල පුතු ද සිය පැවිදි සොහොයුරාගෙන් ඒ මසු
සියයෙන් ගැනීමට අවශ්‍ය සිවුරු පිරිකර මොනවාදැයි ඇසුවේය. දැනට කිසිත් වුවමනා
නොවන බව පැවසූ උන්වහන්සේ නැවතත් ආරාමයට වැඩියහ.
මසු
සියය ගැන ඇසීමක් හෝ බැලීමක් නැතිව ටික කලක් ගත විණි. පසුව ඒ තරුණ නම
පැවිදි දිවියේ උකටලී විය. ‘මෙසේ පිඬු සිඟා දිවි රැක්ම මට තරම් නොවන්නේය.
මසු සියය ගෙන සිවුරු හරිමි’ යි සිතමින් කල් ගෙවී ය. මහණකම් පිරීම ගැන
කිසිදු බලාපොරොත්තුවක් නොවීය. ඒ නම ගේ ඇදුරුතුමන්ට ද මේ බව සැල වී කලකිරීම
මඟ හැරවීමට වෑයම් කළත් එය නිෂ්ඵල විය. සිවුරු හැරීම ගැනම ඒ නම ගේ සිත පෙලඹී
ය.
බුදුරජාණන්
වහන්සේට ද මේ තරුණ නම ගැන සැල විය. උන්වහන්සේ මෙසේ උකටලී වීමට කරුණු විමසා
කහවණු වැස්සෙන් ද මිනිසාට ආසාවෙහි සෑහීමක් නැති බව පවසා මෙහි සඳහන් ගාථා
ධර්මය දේශනා කොට වදාළ හ.
පැවිදි දිවියට එළඹි තරුණ නමක් වෙනුවෙන් දේශනා කළ ද මේ ගාථා රත්නයෙන් ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ලැබෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
මිනිසා
සිය අතෘප්තිකර ආශාවන් පසුපස හඹා යාමේ දී තමන් ගැන මිස අනුන් ගැන සිතන්නේ
නැත. මානව හිතවාදී වන්නේ නැත. ගහ කොළට, සතා සීපාවාට හිතවාදී වන්නේ නැත. ඔහු
ගේ උත්සාහය කුමන හෝ මාර්ගයකින් තම අභිමතාර්ථය සපුරා ගැනීම ය.
ගංගා ඇළ දොළවල ජලය අපවිත්‍ර වීම, මහා වනපෙත් වියළි කාන්තාර
බවට පත්වීම, වායුගෝලය දූෂණය වීම ආදී අනේක විධ විපර්යාසයන් එහි භයානක
ප්‍රතිඵලයන් ය. තමන් ගේ බලය පතුරුවා හැරීමට ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් කිරීමට
තරම් පසුබට නොවන බවට අප ජීවත්වන සමාජයෙන් කොතෙකුත් උදාහරණ සොයා ගැනීම අපහසු
නොවේ. අද මිනිසාට අත් විඳින්නට සිදුවන, ඉතා කටුක ස්වභාවික විපත් බහුලය.
තමන් විසින් කරන ලද නොමනා ක්‍රියාවන් ගේ අහිතකර ප්‍රතිඵලවලට මිනිසාට මුහුණ
දෙන්නට සිදු වී තිබේ.