Thursday, June 26, 2014

Value of the human birth (මනුෂ්‍යත්වයක් ලබා ගැනීමේ වටිනාකම)

Inline images 1



ඔබ අපි කවුරුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සද්ධර්මය අහන්න තරම් මහා වාසනාවක් ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාල දීර්ඝ කාලයක් ගත වී තිබෙන නමුත්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්, පරම පිවිතුරු නිවන් මඟ ඉගෙන ගෙන ඒ නිවන් මඟ පුරුදු කිරීමේ ලාභය, භාග්‍යය අද දක්වා ම දෙවි මිනිසුන් උදෙසා ඉතිරි ව තිබෙනවා. ඒනිස යි අපි ප‍්‍රකාශ කළේ අපි ඉතාමත් භාග්‍යවන්ත කාලයක ඉපදී තිබෙන බව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාල බොහෝ කාලයක් ගතවෙලා තිබුණත් ඒ ශාසනයෙන් පිහිටක් ලබන්නට අපට පුළුවන්කම තිබෙනවා. අපිට සතුටුවෙන්ට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා. ඒ වගේ ම ඒ මනුස්ස ජීවිතය තුළ දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසුනා කියලා අපට සතුටුවෙන්ට පුළුවන්කම තිබෙනවා.
අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නො අසන්නට, කවදාවත් ම අපිට තේරෙනව ද, කලාතුරකින් මතුවෙන මනුස්ස ජීවිතයක් අපට ලැබුණ කියලා? නෑ. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මනුස්ස ජීවිතය කලාතුරකින් නම් ලැබෙන්නේ ඉතිරි කාලවල අපි ඉන්නෙ කොහේ ද? දීර්ඝ කාලයක් අපි ගත කරන්නේ සතර අපායේ. අපි කෙළවරක් නැතු ව පේ‍්‍රත ලෝකයේ, නිරයේ, තිරිසන් ලෝකයේ ඉඳල තිබෙනවා. ඒක තමයි ඇත්ත. අපි දීර්ඝ කාලයක් ඒ වගේ දුක් සහිත ලෝකවල තමයි ජීවත් වුනේ. කලාතුරකින් තමයි මේ මනුස්ස ලෝකයට ඇවිත් ඉන්නේ. මේ දේ අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන්. ඒ ධර්මය ඇසීමෙන්.


යම් කෙනෙකුට මේ කරුණු හොඳින් හිතට ගියා නම්, ඒ කියන්නේ “අපි දීර්ඝ කාලයක් තිස්සේ සසරේ පේ‍්‍රත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරයේ ආදි ලෝකවල දුක්වින්ඳා. කලාතුරකින් මනුස්ස ලෝකයට ආවා. මේ මිනිස් ජීවිතය තාවකාලික යි. ටික කලකින් මැරිලා යනවා. එහෙම මැරුණට පස්සේ නැවත ඉපදෙන්න තිබෙන්නේ පේ‍්‍රත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරයේ ආදි දුක් සහිත ලෝකවල යි. වැඩි වශයෙන් ඉපදෙන්නට තිබෙන්නේ එවැනි දුක් සහිත ලෝකවල” කියලා කෙනෙක් දැන ගත්තොත්, මේ කාරණය වැටහුණොත් එයා ලැබුණ මේ මිනිස් ජීවිතය ගැන සතුටු වෙයි ද නැද්ද? එයාට ලොකු සතුටක් උපදිනවා,”ඉතාමත් දුක් සහිත ලෝකවලින් බේරිලා තාවකාලික ව නමුත් මට සුගති ලෝකයට එන්න ලැබුණ” කියලා එයා සතුටු වෙනවා. ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා මැරෙන මිනිසුන්ගෙන් මහ පොළොව වගේ විශාල ප‍්‍රමාණයක් සතර අපායේ උපදින්නේ කියලා. එහෙනම් අපට අසාමාන්‍ය වාසනාවක් ඉපදිලා තිබෙනවා, මිනිසෙක් ලෙස ඉපදෙන්න. ඒ වගේ කල්පනා කරන කෙනා ලැබුණු මිනිස් ජීවිතය ගැන බොහෝ සතුටු වෙනවා. එයා සිහිකරනවා “මට උතුම් ජීවිතයක් ලැබුණා” කියලා. එපමණකින් ම ඒ සිතේ සතුටක් උපදිනවා. අපි කල්පනා කළ යුතු යි සතුටින් වාසය කරන්න. ඒ වගේ ම ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් වාසය කරන්න. තාවකාලික ව හෝ මම සුගතියට ආවා කියලා සතුටු වෙන්න.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, අපේ ජීවිතය ගැන අපට තෝරාබේරා ගන්ට බැරි ව අපට දකින්න බැරි ව තිබුණ, මේ සැඟවිලා තිබුණ දේ ගැන කියාදුන් ධර්මය හොඳින් පිළිඅරගෙන ඒ ධර්මය දරාගන්න කියලා. අපි දීර්ඝ කාලයක් සසරේ දුක් සහිත ලෝකවල ඉපදි ඉපදී අතිශයින් ම දුක් විඳිමින් ආපු ගමනක් අපට ලැබුණා කියලා ඔබ පිළිගන්න. ඒ දුක් සහිත ලෝකවලින් තාවකාලික ව බේරිලා කලාතුරකින් උතුම් මනුස්ස ජීවිතයක් අපට ලැබිලා තිබෙනවා කියලා සිහි කරන්න. එතකොට ඒ අය සතුටින් ඉන්නේ. පුංචි දෙයකින් එයා සිත කඩා වට්ටගන්නේ නැහැ.
බලන්න, කලාතුරකින් ලැබුණු මේ මිනිස් ජීවිතය ගත කරද්දී අපි කණගාටුවෙන් ද වැඩියෙන් ඉන්නේ? සතුටින් ද වැඩියෙන් ඉන්නේ? බලන්න මේ නො දන්නා බව නිසා සිදුවන දේ. අතිශයින් ම දුර්ලභ ව ලැබෙන මිනිස් ජීවිත අපට ලැබිලත් ඒ ලැබුණු දෙයින් අපි සතුටු වෙනව ද? අපි බොහෝ විට කණගාටුවෙනවා “අරය මට දොස් කිව්වා. මට මේ දේ ලැබුණේ නැහැ. ලස්සන ඇඳුම්,බඩු මුට්ටු මට නැහැ” ආදි වශයෙන් අපි කණගාටු වෙනවා. දැන් බලන්න ජීවිතය මතක තිබෙන දා සිට අද දක්වා වැඩියෙන් ගත කරලා තිබෙන්නේ කණගාටු වීම ද? සතුටු වීම ද? කණගාටු වීම බහුලයි නේ ද? සතුටු වීමට දෙයක් අපට තිබිලත් අපි කණගාටුවෙනවා. සතුටු විය හැකි දෙයක් අපට තිබෙද්දීත් සතුටු නො වුණේ ඇයි? ඒක නො දන්නාකම නිසා. එහෙම නම් දැන් තේරුම් ගන්න ඉතාමත් දුර්ලභ වූ දෙයක් ලැබිලා තිබෙනවා කියල. ඒක සිහි කරන්න. අන්න එහෙම සිහි කරන පුද්ගලයා පුංචි දෙයකින් සිත වට්ටගන්නෙ නැහැ. ඇඳුම්, පැළඳුම්, කනබොන දේ, යාළුමිත‍්‍රයන් නැති වුණා කියලා ඒ පුංචි දෙයට සිත පීඩාවට පත්කර ගන්නේ නැහැ. ඇයි..? එයාට මහත් වූ ලාභයක් ලැබිලා තිබෙනවා. සක්විති රජ පදවිය ලැබුණ කෙනෙක් එක කෑම වේලක් කෑවේ නැහැ කියලා අඬනවා ද? නැහැ. අන්න ඒ වගේ සතර අපායෙන් තාවකාලික ව හෝ නිදහස් වෙලා තාවකාලික ව හෝ සතර අපායට නො වැටී අපට මිනිස් ජීවිතයක් ලැබුණා. එහෙම හිතලා එයා සතුටු වෙනවා.
එහෙම සතුටුවෛන කෙනා ආයෙත් සතර අපායේ නො වැටී ඉන්ට මහන්සි වෙනවා. එහෙම මහන්සි වෙන්නේ මේ මනුස්ස ජීවිතය දුර්ලභ යි කියලා තේරුම් අරගත්ත කෙනා තමයි. මෙය දුර්ලභ දෙයක් කියලා තේරුම් බේරුම් ගන්න බැරි වුණොත් අපි සතර අපායෙන් නිදහස් වීමට කැමති වෙන්නේ නැහැ. අපි කැමති වෙන්නේ ඇහැට පේන දේ අත්කර ගන්න. කණට ඇසෙන ශබ්දය අත්කර ගන්න. ප‍්‍රියමනාප දේට ආශා කර කර ඒක අත්කර ගන්න තමයි කැමති වෙන්නේ, ඒ වගේම වෙහෙසෙන්නේ. ඒක ම පතනවා. නමුත් එයා සිතන ආකාරයට ලැබෙන්නේ නැහැ. එයා නැවත නැවතත් වෙහෙසෙනවා වෑයම් කරනවා. බලවත් විදිහට වෑයම් කරනවා. නමුත් ලැබෙන්නේ නැහැ. කලාතුරකින් මොනවා හරි ලැබෙයි. ලැබෙන දේ ආරක්ෂා කර ගන්න බලවත් විදිහට වෙහෙසෙනවා. වෑයම් කරනවා. ඒත් ලැබෙන්නේ නැහැ. ප‍්‍රිය මනාප රූපයක් දැක්කාම එයා පතනවා “අනේ මට මේ රූපය ලබාගන්න ඇත්නම්” කියලා. නමුත් අපි පතන ප‍්‍රියමනාප රූප සියල්ල ම ලැබෙනවා ද? ලැබෙන්නේ නැහැ. පතපතා ශෝක කරනවා. ඊට පස්සේ කලාතුරකින් මොනවා හරි ලැබුණොත් ඒක රැක ගන්න මහන්සි වෙනවා.නමුත් ඒකත් රැකගන්ට බැහැ. අහිමි වෙලා යනවා.
ඒ නිසා සැබෑ සතුටක් උපද්දවලා නො දෙන දේ පස්සේ අපි ලූහු බඳින්ට එපා. අපි මේ කාරණය හොඳින් තේරුම් ගත යුතු යි. තේරුම් අරගෙන ආපසු සැරයක් දුගතියට නො යන විදිහට අපි හිත හදාගත යුතු යි. නැවත වරක් දුගතියට යන්න වූවොත් අපට මේ මනුස්ස ලෝකයේ මේ ලබන සතුට ලබන්න බැරි වෙනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මැරෙන බොහෝ පිරිසක් සතර අපායේ ඉපදෙනවා කියලා. අපිටත් ඒ අනතුර තිබෙනවා. මේක අපි තේරුම් ගත යුතු යි. මේක තේරුම් ගන්ට අවස්ථාව ලැබීම, මේ ශාසනයෙන් අපිට ලැබුණු මහා ලාභයක්.
මනුස්ස ලෝකයට එන්න ලැබුණ අපි, කල්පනා කළ යුතු යි මනුස්ස ජීවිතයෙන් ඉහළ ට, ඊට වඩා උසස් තත්ත්වයක් කරා මේ ජීවිතය දියුණු කර ගන්න. පේ‍්‍රත ලෝකය කියලා කියන්නේ මේ ලෝකයට වඩා හීන තත්වයක්. තිරිසන් ලෝකය, නිරය කියලා කියන්නේත් අතිශයින් ම හීන තත්වයක්. ඒ හීන තත්වයට අකමැති වෙලා ඒ හීන තත්වයෙන් නිදහස් වෙලා මේ මනුස්ස ජීවිතයට වඩා උතුම් උසස් ජීවිතයක් ඇතිකර ගන්න අපි බලන්න ඕනෑ. අන්න ඒ සඳහා අපි විසින් දියුණු කරගත යුතු ගුණධර්ම ගැන අපි ඉගෙන ගන්ට ඕනෑ. ගුණධර්ම ඇතිකර ගැනීමෙන්, ගුණධර්ම දියුණුකර ගැනීමෙන් ම තමයි මේ ජීවිතය බලවත් දෙයක් බවට පත්කර ගැනීමට පුළුවන්කම තිබෙන්නේ. ඒ සඳහා අපි කෙබඳු ගුණධර්ම දියුණු කරගත යුතු ද කියා දැන ගන්ට ඕනා.
ඔබ සිතන්න, භාග්‍යවතුන් වහන්සේ කියා දුන් මේ ධර්මය අහන්න ලැබෙන්නේ කවුරු නිසා ද? කල්‍යාණ මිත‍්‍රයන් නිසා. සත්පුරුෂයන් නිසා. අපට මේ ජීවිතය පිළිබඳ ව යම් වැටහීමක් ඇති වුණා නම්, ඒ වැටහීම ඇති කර ගත්තේ ම සත්පුරුෂ ඇසුර නිසා නේ ද? එහෙම නම් අපි කල්පනා කළ යුතු යි, අපි කැමති විය යුතු යි, අපි වෑයම් කළ යුතු යි, සත්පුරුෂ ඇසුර ඇතිකර ගන්න. සත්පුරුෂ ඇසුර ඇතිකර ගත්විට අපට ජීවිතය ගැන තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. සත්පුරුෂයන් නිසා ම තමයි අපට මේ සද්ධර්මය අහන්ට ලැබුණේ. එහෙම නම් සත්පුරුෂයින් අහිමි වුණොත් මේ සද්ධර්මයේ ඵල නෙළාගන්ට අපට බැරි ව යනවා.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා සත්පුරුෂයන් ඇසුරේ, සද්ධර්මය ශ‍්‍රවණය කරමින් ඒ ධර්මය ඉගෙන ගනිමින් වාසය කරන කෙනා සියලූ දුකින් නිදහස් වෙලා නිවන අවබෝධ කරන බව. මේ සියලූ ම දේ සත්පුරුෂයන් ඇසුරේ තිබෙන ආනිශංස. ඒ නිසා ඒ සත්පුරුෂ ඇසුරේ කොතරම් ආනිශංස ලැබෙනවා ද කියලා කල්පනා කරන්න. ඒ සත්පුරිස ඇසුරට කැමති වෙන්න. එයාට පිරිහීමක් අත්වන්නේ නැහැ. දියුණුවක් ම යි අත්වන්නේ. එයාට ප‍්‍රඥාව ලැබෙනවා. ශෝක කරන ජනතාව අතර ශෝක නො කර ඉන්න පුළුවන්. එයාට නෑදෑයින් අතරේ බැබළෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ම සුගතියේ දෙවියන් අතර ඉපදෙන්නත් පුළුවන්. සියලූ දුකින් නිදහස් වෙලා නිවන අවබෝධ කරන්නත් එයාට පුළුවන්.
දැන් බලන්න කලාතුරකින් මනුස්ස ලෝකයට ආවා. ඒක සුගතියක්. නමුත් මේ සුගති ලෝකයට ඇවිත් අපි ආසා කරන දේ පස්සේ ම ලූහුබැඳල, කාමයන් පස්සේ ම ලූහුබැඳලා, ඒ මත්තේ ම ජීවිතය කැප කරල අඬමින්, වැළපෙමින්, ශෝක සුසුම් හෙලමින් වාසය කරනවා නම් අපි මේ ජීවිතයේ දියුණුවක් ඇති කර ගෙන ද? පිරිහිලා ද? පිරිහිලා. සංසාර ජීවිතය ගත්තොත් දුගතියෙන් සුගතියට අපි ඇවිත්. එහෙනම් යම් ලාභයක් ලැබිලා. ඒ ලාභය ලැබී තිබෙද්දීත් අපි ඒක දියුණු කරගෙන නැහැ. අපේ සිත් පිරිහිලා.
එහෙම නම් සත්පුරුෂ ඇසුර අපි අත්කර ගත්තොත් අඬන වැළපෙන ස්වභාවයෙන් නිදහස් වෙලා දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. දැන් මා කියා දුන් දේ වැටහෙනවා නේ ද? මේ ජීවිතය දුර්ලභ යි. ඒ දුර්ලභ ජීවිතය තේරුම් ගත්තොත් සැපසේ වාසය කරනවා. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආකාරයට සැපවත් ජීවිතයක් උපදවා ගන්න උපකාර වන්නේ සත්පුරුෂ ඇසුර යි. වෙන ක‍්‍රමයක් නො වේ. සත්පුරුෂ ඇසුරට පැමිණි කෙනා මේ ජීවිතයට සැප ලබන එක, සසර දුකින් නිදහස් වෙනවා කියන එක වළකන්න කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙම නම් කොහොම ද ඒ සත්පුරුෂ ඇසුර උපදවා ගන්නේ? එහෙම පුළුවන්කම තිබෙන්නේ අපි සත්පුරුෂයන් බවට පත්වීමෙන්. තමන් සත්පුරුෂයෙක් බවට පත් වීමෙන්. තමා සත්පුරුෂයෙක් නො වී සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ නැහැ.
අපි මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. මේ මිනිස් ජීවිතය තුළ අපි මිනිසුන් ඇසුරු කරගෙන හොඳට ඉන්න නම් මොකද කළ යුත්තේ? මනුස්සයන් තුළ තිබෙන ගුණ ධර්ම පුරුදු කරන්න ඕනෑ. එහෙම නො කළොත් මිනිස් ඇසුර ලැබෙන්නේ නැහැ. සමාජයෙන් අපි කොන්වෙලා යනවා. කය බිඳිල මැරුණට පස්සේ මේ ලැබුණ ඇසුර සදහට ම අහිමි වෙලා යනවා. ඊට පෙර අපි සත්පුරුෂ ඇසුර ස්ථිර එකක් බවට පත්කර ගන්න ඕනෑ. ඒ සඳහා තව ම ප‍්‍රමාද නැහැ කියලත් තේරුම් ගන්න.
මනුස්සලෝකයේ ඉපදිලා හිටියත්, මිනිස් ලෝකයේ වාසය කළත් මේ ගුණධර්ම අපට පුරුදුකර ගන්න බැරිවුණොත් අපේ සිත පිරිසිදු දෙයක් බවට පත්වෙයි ද? අපිරිසිදු වෙයි ද? අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා. මාපියන්ට සැලකීම අපි කරන්නේ නැත්නම් අපේ සිත සතුටට පත්කර ගන්න ලැබෙන්නේ නැහැ. ඥාති හිතමිතුරන්ට ගරු බුහුමන් දක්වමින් සංග‍්‍රහ කරන්න අපි පෙලඹෙන්නේ නැත්නම්, සතුටු පිනක් උපදවා ගන්න අපට බැහැ. ප‍්‍රිය වචන, මිහිරි වචන භාවිතයක් අපට නැත්නම් සතුටු පිනක් උපදවා ගන්න අමාරු වෙනවා. ඒ වගේ ම කේලාම් කියනවා නම් අසත්‍ය, ප‍්‍රකාශ කරනවා නම්, සතුටු පිනක් උපදවා ගන්න බැහැ. මසුරුමළ සහිත ව වාසය කරනවා නම්, ලෝභයෙන් මත්වෙලා යමක් දෙන්න අකමැති නම්, යමක් දුන්නත් ලෝභ සිතින් එය දීලා දුන්න දේ ගැන සිතමින් සිටිනවා නම් සතුටු පිනක් උපදවාගන්න බැහැ. එහෙම නම් බලන්න මේ මනුස්ස ජීවිතය ගත කරද්දි මේ උතුම් සද්ධර්මය බැහැර කරලා යමෙක් වාසය කළොත් ඔහුට සුවපත් ජීවියක් ඉපදෙන්නේ නැහැ නේද කියලා..? තමා සුවපත් භාවයෙන් තොර ව වාසය කරනවා නම්, තම පවුල අතර සතුටින් ප‍්‍රීතියෙන් ඉන්න බැරි වෙනවා. ඒ වගේ ම එයාට ගමේ, රටේ සමාජයේ රාජකාරි කරන තැන සතුටු සිතින් ඉන්න බැහැ. ඇයි එහෙම ඉන්න බැරි? තමා තුළ උපන් සතුටක් ප‍්‍රීති ප‍්‍රමෝදයක් නැහැ. එහෙම වුණේ තමා යහපත් දේ පුරුදු නො කළ නිසා. අයහපත් දේ පුරුදු කරන නිසා. අපි ඒ වගේ තත්වයට ගොදුරු වුණේ ඒ ස්වභාවය ගැන දන්නේ නැති නිස යි. අයහපත් දේ පුරුදු කළා ම සිත පීඩාවට දුකට පත් වෙනවා. බලන්න ඒක මොනතරම් අසරණ ස්වභාවයක් ද? මොනතරම් අසරණ ස්වභාවයක ද මනුස්සයා ඉන්නේ?
එහෙම නම් බලන්න කලාතුරකින් ලැබුණ උතුම් ජීවිතයක් මේ. ඒ ජීවිතය දියුණු කර ගන්න පිළිවෙළ අපි දන්නේ නැත්නම් මේ ජීවිතයත් දුක් ස්වාභාවයෙන් යුතු දෙයක් බවට පත්කර ගන්නවා. දැන් ඔබට තේරෙනව ද භාග්‍යවතුන් වහන්සේ මේ කියා දුන් ධර්මය මොනතරම් ප‍්‍රායෝගික ද කියලා. මේ ධර්මය ඔබ ඔබේ ජීවිතයට ම ගළපාගෙන බලන්න. අපිට මනුස්ස ජීවිතයක් ලැබුණා. ලැබුණ ඒ ජීවිතය දුක් සහිත දෙයක් බවට පත්වෙන්ට, මේ වැරදි, අයහපත් දේවල් උපකාරී වෙනවා නේ ද කියලා හොඳට තේරුම් ගන්න.
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යමෙක් මවුපියන් කෙරෙහි වරදවා පිළිපදිනවා නම් ඔහු බොහෝ අකුසල් කරගන්න බව. ඒ වගේ ම යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපදිනවා නම්, බොහෝ අකුසල් රැස් කරගන්නවා. ඒ වගේ ම සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සඟරුවන කෙරෙහි වරදවා පිළිපදිනවා නම් එයා බොහෝ අකුසල්, පව් රැස්කර ගන්නවා. එතකොට පළමු ව ඉන්නේ කවු ද? තමාගේ අම්මා තමයි මූලික වන්නේ. සත්පුරුෂ ගුණ ධර්ම දියුණුකර ගැනීමට උත්සහ කරන කෙනෙක් තමාගේ අම්මා කෙරෙහි වරදවා පිළිපදිනවා නම් එයා පියා කෙරෙහි හොඳින් පිළිපදිනවා කියන එක සිදුවන්නේ නැහැ. එහෙම නම් අපිට ගෙදර ඉදලා ම තමයි අපේ ජීවිතය දියුණුකර ගන්න තිබෙන්නේ. අම්මා කෙරෙහි වරදවා පිළිපදින කෙනා තාත්තාට ආදරය කරනවා කියන එක හරි හොඳින් සිදුවන්නේ නැහැ. ඒක මදි ධර්මය පරිපූර්ණ කර ගැනීමට. ආරම්භයටවත් ඔහුට එන්න බැහැ. එහෙම නම් මව්පිය උපස්ථානයෙන් තමයි අපි ආරම්භ කළ යුත්තේ. මවුපියන්ගේ ගුණ දන්නේ නැති කෙනාට කල්‍යාණ මිත‍්‍රයාගේ උපකාරය සිහිකරන්න බැහැ. සද්ධර්මය නැති පුද්ගලයාට යෝනිසෝමනසිකාරය උපදවා ගන්නත් බැහැ. එයාට එනිසා ම ධම්මානුධම්මපටිපදාව ඇති කරගන්නත් බැහැ. ඒ උතුම් අංග සියල්ල ම ඔහුට අහිමි වෙනවා. සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්මපටිපදාව කියන අංග හතර බහුල වශයෙන් පුරුදු කළොත් පමණ යි සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ ම ඒ අංග තවදුරටත් බහුල වශයෙන් පුරුදු කළොත් එයා සකෘදාගාමී වෙනවා. තවදුරටත් පුරුදු කළොත් අනාගාමී බවටත්, තවදුරටත් වැඩිදියුණු වීමෙන් අරහත්වයටත් පත්වෙනවා.
ඉතිං, බලන්න කෙනෙක් අරහත්වයට පත්වීම පිණිස ඒ දක්වා පුරුදු කළ යුත්තේ ඒ උතුම් ගුණ ධර්ම හතර. එතකොට ඒ දේවල් අපි පුරුදු කර ගත්තොත් ලැබුණු මිනිසත්භවය උතුම් ජීවිතයක් බවට පත්වෙලා ද? නැද්ද? පත්වෙලා. ඔබ ගෙදර සිටිය දී ම, රැකී රක්ෂා කරද්දී ම මේ උතුම් සත්පුරුෂ ගුණධර්ම දියුණු කරගන්ට පුළුවන්. තමාගේ ජීවිතය ඔය ආකාරයට ගතකරද්දී ම මේ උතුම් සත්පුරුෂ ගුණධර්ම පුරුදු කළ යුතු ම යි. ගෙදර දොරේ කටයුතු සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරන්න බාධාවක් නො වේ නේ ද? එය උපකාරයක් ම යි. එනිසා අපි ඔබට ආශිර්වාද කරනවා සත්පුරුෂ ඇසුර තුළින් ඒ උතුම් ගුණධර්ම ඔබේ ජීවිතය දියුණුකර ගන්න අවස්ථාව උදාවේවා කියල.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි.

අති පුජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි.

No comments:

Post a Comment