Monday, September 26, 2011

Save for your life




 පසුගිය ලිපියෙන් මේ පින්වතුන්ට කියා දුන්නා සම්මා දිට්ඨිය උපදවා ගැනීමට සිත පිරිසිදු විය යුතු බවත් සිත පිරිසිදු වෙන්ට නම් සීලය පරිපූර්ණ විය යුතු බවත්. සීලය පරිපූර්ණ වෙනව කියල කියන්නේ සීලය පිරිහෙන් නැති විදිහට දියුණු කර ගැනීමටයි. ඒ විදිහට සීලය පරිපූර්ණ කරගන්ට නම් සේඛ බල පරිපූර්ණ කරගත යුතු ආකාරයත් විස්තර කරල දුන්න. එතකොට මේ සේඛ බල කියන උතුම් ගුණයන් මිනිසකුගේ ජීවිතයට කොතරම් රැකවරණයක් ආරක්ෂාවක් උපදවල දෙනවද කියල මේ පින්වතුන්ට දැන් වැටහෙනව ඇති. ඒ සේඛ බල වලින් තමයි සියලු ම කුසල් ඇති කර ගන්ට අපිට බලය ඇති කරල දෙන්නේ. හරියට ගොඩනැගිල්ලක පදනම වගේ. විශාල ගොඩනැගිලි ඉදිකරල තියෙන්නේ පදනම මත. නමුත් ඒක පිටතට පේන්නේ නෑ. පේන්නෙ නැති එක ගැන නොසලකා හැරියොත් අපිට දිගු කල් පවතින ගොඩනැගිල්ලක් හදාගන්ට බෑ. ඒ විදිහට ඒ වඩා වටින දේ, ඉතාම වටිනා දේ නොසලකා අපි පෙනෙන දේ විතරක් කරන්ට ගියොත් මොකක්ද වෙන්නේ? එයා ටික කලක් හදයි. බලන අයත් හිතයි මෙයා නම් ලොකු ගොඩනැගිල්ලක් හදන්නයි සූදානම කියල. නමුත් හදාගෙන යන අතරම ඒක කඩාගෙන වැටෙනවා. ඇයි ඒ? ඒ බර උහුලන්ට බලයක් නෑ. අන්න ඒ වගේ අපට පිටතට පෙනෙන දේ ගැන යම් සැළකිල්ලක් දක්වනවා නම් ඊට වඩා ලොකු සැළකිලිමත් බවක් අපි ඇතිකරගත යුත්තේ නොපෙනී තිබෙන දේ ගැනයි. කෙනෙකුට පෙනෙන දේ තමයි අපි ඉඳගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් අපි දේශනා ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. සමහර විට අපිට ධර්ම කථාවකට ගියාම විවිධ විදිහට කරුණු දක්වමින් කියන්ට පුළුවන්කම තියෙයි. කෙනෙක් යමක් ඇහුවොත් ‘අර දේශනාවේ මෙහෙමයි තියෙන්නේ, මේ දේශනාවේ මෙහෙමයි තියෙන්නේ’ ආදී වශයෙන් අපට සමහර විට කියන්ටත් පුළුවන් වෙයි. නමුත් ඒක පිටතට පෙනෙන දෙයක්. එපමනකින් අපි සෑහීමකට පත් නොවිය යුතුයි. පෙනෙන දෙයින් විතරක් සෑහීමකට පත් වුනොත් අපි අර නොපෙනෙන දේ නොසලකා හැරල. නමුත් අපේ මුලු ප‍්‍රතිලාභයම සුරැකෙන්නේ දියුණු වෙන්නේ කුමක් මතද? අර ලෝකයට නෙපෙනෙන පෙන්වන්ට බැරි අභ්‍යන්තරයේ පවතින බලය මත. ඒ මත ම යි අපේ අධ්‍යාත්මික ජීවිතය මුළුමනින්ම ගොඩ නැගෙන්නේ. කුමක්ද ඒ බලය? ශ‍්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන සේඛ බල. මෙය එතරම්ම වැදගත් දෙයක් නිසා තමයි බහුළ වශයෙන් මේ ගැන සඳහන් කළේ. ගොඩනැගිල්ල හදන්ට කලින් හොඳට පදනම දමා ගත්තොත් බය නැතුව ඒක උඩට ඕනැ තරම් උස ගොඩනැගිල්ලක් හදන්ට පුළුවන්කම ලැබෙනවා. අපිට දහම් දැනුම ලැබුනහම ඒ දහම් දැනුම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? සේඛ බලවලින්. දහම් දැනුමෙන් අපේ ජීවිතයට ලබාගත යුතු උපකාරය කුමක් ද? මොකට ද මේ දහම් දැනුම අපි රැස් කරන්නේ? අපි තුළ යම් තාක් අකුසල් තියනවා නම් ඒ අකුසල් ඔක්කොම බැහැර කරන්ටත් යම් කුසල් තියෙනවා නම් ඒ කුසල් පුරුදු කරගෙන පරිපූර්ණ ගන්ටත් තමයි දහම් දැනුම තියෙන්නේ. එහෙනම් අපි ධර්මය ඉගෙන ගත්ත පමණින්ම අකුසල් ප‍්‍රහාණය වීමත් කුසල් උපදවා ගැනීමත් ඉබේ සිදු වෙන්නේ නෑ. අකුසල් ප‍්‍රහාණය වෙලා, කුසල් උපදවා ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ මොකෙන් ද? සේඛ බල පුරුදු කර ගැනීමෙන්. එහෙනම් සේඛ බල උපදවාගෙන සේඛ බල පුරුදු කර ගත්තොත් සේඛ බල පරිපූර්ණ කර ගත්තොත් අන්න එතකොට එයාට සීලය රැක ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ වුන කෙනා තුළ පසුතැවෙන ස්වභාවය නෑ. සිත පිරිසිදු වෙනවා. අන්න ඒ පිරිසිදු සිතෙන් ‘මේ තමයි දුක‘ කියල අවබෝධ කරන්ට පුළුවන්.‘මේ තමයි දුකට හේතුව‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුකේ නැතිවීම‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුක නැතිවෙන මාර්ගය‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. එතකොට ඒ පිරිසිදු සිතින් ආර්ය සත්‍යය විමසන කොට යම් කල කදී එයාට වැටහීමක් ඇතිකර ගන්ට පුළුවන් දුක කියන්නේ ආර්ය සත්‍යයක්ම යි, දුකේ හට ගැනීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති වීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති කිරීමේ මාර්ගයත් ආර්ය සත්‍යයක්ම යි කියල. සිත පිරිසිදු නැති වුනත් ආර්ය සත්‍යය ඉගෙන ගන්ට අපිට පුළුවන්. පාඩම් කර ගන්ට අපිට පුළුවන්. පාඩම් වූ පමණින්ම ඒක අවබෝධය නොවෙයි. සමහර අයට පාඩම් තියෙන කොට ඒක අවබෝධය වගේ හිතෙන්ට පුළුවන්. රැවටෙන්න පුළුවන්. නමුත් අපිට සැබැවින්ම අවබෝධයක් ඇතිවෙනව නම් ඇතිවෙන්නේ සීලය පරිපූර්ණවෙලා සිත පිරිසිදු වීමෙන්. අපි මේ ආකාරයට මාර්ගය ගැන වැටහීමකින් කටයුතු කරන අය බවට පත් වෙන්ට ඕනැ. එතකොට අපි නොමග යන්නේ නෑ. එහෙම නැත්නම් අපි නොමගට වැටීමේ ඉඩකඩක් තියනවා. නොමගට ගියොත් මොකද වෙන්නේ? අපි ප‍්‍රමාදයට වැටිල නේද? අපිට ධර්ම අවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙනවා. එතකොට අපි ගැටළුවක් නෑ කියල හිත හිතා ඉන්නවා. ඇත්තෙන්ම ප‍්‍රශ්නෙ විසඳිලා නෑ. එතකොට යම් කලකදී අකුසල් මතුවෙලා එනකොට අපිට ඒවාට මූණ දෙන්ට බැරුව යනවා. ඒවායෙන් ඇතිවන දුක් පීඩා උහුල ගන්ට බැරුව යනවා. ප‍්‍රමාදයට ඇදගෙන වැටුනොත් අපිට වෙන්නේ ඒකයි. එතකොට ප‍්‍රමාදය වළක්වගන්ට නම් අපි මේ නිවන් මාර්ගය පුරුදු වෙන ආකාරය ගැන හොඳ දැනුමක් ඇතිකර ගන්ට ඕනැ. හොඳට මතක තියා ගන්න සේඛ බල පුරුදු කර ගැනීමෙන් සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණවීමෙන් සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සම්මා දිටිඨිය උපදිනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ සීලය පිරිසිදු වීමෙන්මයි සිත පිරිසිදු වෙන්නේ, සිත පිරිසිදු වීමෙන්මයි දැකීම වඩා හොදින් පිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ සීල විසුද්ධිය ඇතිවීමෙන් තමයි චිත්ත විසුද්ධිය ඇතිවෙන්නේ. චිත්ත විසුද්ධිය ඉපදුන කෙනාට තමයි දිට්ඨි විසුද්ධිය ඇතිවෙන්නේ. ඒ විදිහටයි මාර්ගය දියුණු වෙන්නේ. එහෙනම් අපි ගොඩාක් උනන්දුවෙන් සීලය පිරිසිදුකර ගැනීම පිණිස සේඛ බල පුරුදු කරගත යුතුයි. සේඛ බල ඇති කර ගන්න කෙනා සිල්පද හොදින් රැක ගන්ට මහන්සි වෙනවා. සිල්පද පරිපූර්ණ වශයෙන් හොඳට රැක ගන්ට නම් අපි තුළ ඉන්ද්‍රිය සංවර සීලයත් ඒ වගේම සති සම්පජඤ්ඤ සීලයත් හොඳින් පුරුදු කර ගන්ට ඕනැ. සිල් පද ටික සමාදන් වෙලා රැක ගන්ට ඕනැ. එතකොට සමාදන් වූ සිල් පදවලට කියනව ආර්ය වූ සීලස්කන්ධය කියල. සති සම්පජඤ්ඤයට කියනවා ආර්ය වූ සතිසම්පජඤ්ඤ සීලය කියල. ඉන්ද්‍රීය සංවරයට කියනවා ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය කියල. මෙන්න මේ තුන් ආකාරයෙන්ම සීලය පුරුදු කරන කෙනා තුළ තමයි සිල්පද ටික ආයෙ බිඳ වැටෙන්නේ නැති විදිහට පරිපූර්ණ දෙයක් බවට පත් වෙන්නේ. එසේ සීලය පරිපූර්ණ වෙන්ට කාරණා කීයක් සම්පූර්ණ වෙන්ට ඕනැද? සිල්පද රැකෙන්ට ඕනැ. සිල්පද සමාදන් වෙලා පුරුදු කර ගන්ට ඕනැ. සති සම්පජඤ්ඤය පුරුදු කර ගන්ට ඕනැ. ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගන්ට ඕනැ. හොදට මතක තියා ගන්න එතකොට මේ තුන් ආකාරයටම සීලය ආරක්ෂා කර ගන්නට ඕනැ. එතකොට මේ අංග තුනම හොඳට පරිපූරණ කර ගත්තොත් එයා තුළ සීලය පරිපූර්ණයි. අන්න ඒ විදිහට සීලය පරිපූර්ණ වුන කෙනා පසුතැවෙන කෙනෙක් නෙමේ. එයාගෙ සිත පිරිසිදුයි. සම්මා දිට්ඨිය උපදවා ගන්ට එයාට පුළුවන්. එතකොට බලන්න ඉන්ද්‍රීය සංවරය ඇති කර ගන්නටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්නටත් බැරි නම් එයා තුළ සිල්පද ආරක්ෂා වෙයිද? ආරක්ෂා වෙන්නේ නෑ. ඉන්ද්‍රීය සංවරය උපදවා ගන්ට අපට උපකාර වෙන්නේ කුමක්ද? දැන් ආපහු සේඛ ධර්ම සිහි කර ගන්න. සේඛ ධර්ම වල තිබෙනවා ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව. ඉන්ද්‍රිය අසංවරයි කියල කියන්නේ ඇහැට පි‍්‍රය මනාප රූපයක් දැක්කොත් ඒව බලල ඒ සටහන් නිමිති මතක තියා ගන්නවා. ඒව සිහි කර කර ඉන්ට පුරුදු වෙනවා. එතකොට අසංවර වූ ඇසක් එයාට තියෙන්නේ. ඊළගට ප‍්‍රිය මනාප ශබ්ද අහල එහි සටහන් නිමිති සිහි කර කර ඉන්නවා. අසංවර වූ කණක් තියෙන්නේ. එතකොට ඒ විදිහට ප‍්‍රිය මනාප රූප, ශබ්ද, ඝන්ධ, රස, පහස මේවා අහල දැකල ඒ සටහන් මතක තියාගෙන ඒව සිහි කර කර ඉන්න කොට හිතේ රාගය උපදිනවා. හිතේ රාගය ඉපදුනාට පස්සේ එයාට සුව පහසුවක් තියනව ද? නෑ. ඉතාම අපහසුවෙන් වාසය කරන්නේ. රාගයෙන් මත්වුන කෙනා සිල්පද රැක ගන්නේ කොහොම ද? එයාට සිල්පද රැක ගන්ට අමාරුයි. සිල්පද පරිපූර්ණ කර ගන්ට බෑ. බොහෝ වෙලාවට සිල් බිඳිල යනවා. එතකොට ඒ සිල්පද ආරක්ෂා නොවෙන්න මොකක්ද හේතු වුනේ? ඉන්ද්‍රිය අසංවරවීම නේද? ප‍්‍රිය මනාප රූප බලන්න එයා කැමතියි. බලල සටහන් මතක තියාගෙන ඉන්නවා. එක සිහි කර කර ඉන්නවා. ඊළගට ඒ හිතට ආපු අරමුණු ඔස්සේ එයා හිත හිතා ඉන්නවා. දැකපු දේ ගැන, කනට ඇහුන ශබ්ද ගැන හිත හිතා ඉන්නවා. ගද සුවද පි‍්‍රය දේවල් ගැන හිත හිතා ඉන්නවා. පි‍්‍රය මනාප රස ගැන හිත හිතා ඉන්නවා. එතකොට එයා යම් කටයුත්තක් කළත් ඒ කරන කටයුත්ත ගැන නෙමේ එයාට කල්පනාව තියෙන්නේ. අර තමා ප‍්‍රිය කළ දේවල් හිත හිතා ඉන්නවා. එතකොට එයාගෙ හිත පිරිසිදු වෙනව ද? පිරිසිදු වෙන්නේ නෑ. හිතේ රාගය බලවත් වෙනවා. රාගය බලවත් වුන කෙනාට සිල්පද රැක ගන්ට බැරුව යනවා. ඒ වගේම තමයි ද්වේෂය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. මෝහය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. එහෙනම් හිතේ උපදින ඒ රාගය, ද්වේෂය, මෝහය ඉපදිලා ඒව බලවත් නොවෙන විදිහට හිත සංවර කර ගන්ට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය. අන්න ඒ සීලයන් පරිපූර්ණ කර ගන්න කොට සිල්පද ටික රැකෙනවා. එතකොට අපි තුළ ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. සති සම්පජඤ්ඤය පිරෙනකොට ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. එතකොට සිල්පද පරිපූර්ණ වෙනවා. සිල්පද බිඳෙන්නේ නෑ. සිල්පද බිදෙන්නෙ නැති වෙනකොට එයා පසු තැවෙන්නේ නෑ. දැන් පැහැදිලියි නේද? එතකොට ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්ටත් අපට උපකාර වෙන්නේ ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව කියන සේඛ බල. බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් වුන කෙනා කැමති වෙන්නේ නෑ ප‍්‍රිය මනාප රූප බලල එහි සටහන් මතක තියා ගෙන ඒවා සිහි කර කර රාගය ඇවිස්සිලා ඒ හීන හිතෙන් යුක්තව දුක් විඳින්ට. ඒ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා තුළ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්ත කෙනා ඒ ගැන සිහි කරනවා. එතකොට එයා තුළ අර හීන ස්වභාවයට අකමැත්ත ඉපදෙනවා. එතකොට හිරි ඔතප් ඇතිවෙනවා. අන්න ඒ පි‍්‍රය මනාප රූප බලල ඒ සටහන් මතක තියා ගන්න ස්වභාවයට අකමැතියි. එයා හිතනවා මට මේක ගැලපෙන්නේ නෑ කියල. මේ හිත හීන විදිහට හිත ලාමක ස්වභාවයට ඇද වැටෙන හීන දේ මට ගැලපෙන්නේ නැ කියල කල්පනා කරනවා. එයා ඒ ප‍්‍රිය රූප බලල නිමිති මතක තියා ගන්න ස්වභාවය අතහැරල දානවා. එතකොට එයාට සිහි කර කර ඉන්න ප‍්‍රිය නිමිති නෑ. දැන් යම් කෙනෙක් ප‍්‍රිය රූප බලල නිමිති හිතේ තිබුනොත් එයාට සිහි කර කර ඉන්ට දෙයක් තියනවා නේද? එසේ ප‍්‍රිය නිමිති සිහි වෙන්ට වෙන්ට එයා තුළ රාගය ඉපදෙනවා. අතිශය දුක්පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. සැපසේ ඉන්ට බෑ. ඒ වගේ දුක් විදින කෙනා ප‍්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ශ‍්‍රද්ධා බලය උපදවා ගන්නවා. එයා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරනවා. එයා ඒ හිතේ හීන ස්වභාවය ඇතිකරවන ඒ ලාමක දේට අකමැත්ත උපදවාගන්නවා. ලැජ්ජාව උපදවා ගන්නවා. භය උපදවා ගන්නවා. එයා හිතනවා මම වගේ කෙනෙකුට මේක ගැලපෙන්නේ නෑ. දුක් විඳින දෙයක්, අපිට අදාල නැති දෙයක් දැකල, ප‍්‍රිය දේ බල බලා නිමිති තියාගෙන මේ ලාමක දේකට අපේ හිත ගොදුරු වෙන්නේ කියල එයා කල්පනා කරනවා. එයා ප‍්‍රිය නිමිති අතහරිනවා. කළක් මෙහෙම පුරුදු කරන්ට කරන්ට එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැති ස්වභාවයක් ඇති වෙනවා. ප‍්‍රිය නිමිති නැත්නම් සිහි කරන්න දෙයක් තියනවද? නෑ. එතකොට රාගය බලවත් වෙනවද නෑ. දැන් සිල්පද ආරක්ෂා වෙයිද නැද්ද? ආරක්ෂා වෙනවා. ඇයි එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැත්නම් එයාට පාරෙ ගියත් වටපිට බල බලා යන්න ඕනද? එයා දැන් ප‍්‍රිය නිමිති වලට අකමැතියි. ශ‍්‍රද්ධාව හිරි ඔතප් උපදවා ගත්තොත් එයාට ඉන්ද්‍රිය සංවරයයි, සම්පජඤ්ඤයයි දෙක හොඳට පුරුදු වෙන්ට පුළුවන්කම තියනවා. එයාට වීරිය ඉපදෙනවා. ඒ වීරිය ඉපදීමෙන් තමයි ඉන්ද්‍රිය සංවරයත් සම්පජඤ්ඤයත් ඇති කර ගන්නේ. වීරිය නැති කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට බෑ. ඇයි එයාගෙ හිත දුවන්නේ පි‍්‍රය මනාප දේවල්වලට. ප‍්‍රිය මනාප දේ බලන්න අහන්න ඒ නිමිති මතක තියා ගන්ට කැමතියි. නමුත් ශ‍්‍රද්ධාව හිරි ඔතප් තියන කෙනා තුළ දුෂ්චරිතයට අකමැත්ත තියන නිසා ඒ දුෂ්චරිතය උපදවල දෙන්න හේතුවෙන පි‍්‍රය නිමිති ගන්ට එයා කැමති නෑ. එයා තමා තුළ නොතිබූ කුසල් ඇතිකර ගන්ට කැමතියි. නොතිබූ කුසලය තමයි ඉන්ද්‍රිය සංවරය. තියන අකුසලය එයා බැහැර කරන්ට කැමතියි. අකුසලය මොකක්ද ඉන්ද්‍රීය අසංවරය. ඉන්ද්‍රීය අසංවරය බැහැර කරනවා ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඒකට වීරිය එයාට උපදින්නේ ශ‍්‍රද්ධාව හිරි ඔතප් ඉපදීමෙන්. එහෙනම් හොඳට මතක තියා ගන්න ශ‍්‍රද්ධා, හිරි ඔතප්, වීරිය, ප‍්‍රඥා කියන මේ සේඛ බල අපි උපදවා ගත්තොත් අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්ට නම් අපි මේ මොහොතේ පටන්ම ශ‍්‍රද්ධා, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන ඒ උතුම් සේඛ ධර්ම පදවා ගන්ට මහන්සි වෙන්ට ඕන. ඒ උතුම් සේඛ බල උපදවගෙන, බලවත් බවට පත්කරගෙන, බලවත් පුරුෂයන් බවට පත්වීමේ දුර්ලභ භාග්‍යය සියලු දෙනාටම උදාවේවා!
තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Saturday, September 17, 2011

Paw Karana hemoma apaye yanawada?

‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් ඇතැම් කෙනෙක් කියාවි, “අපෝ නැහැ… ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය..” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ පින් පව් වල විපාක නැහැ කියන මිත්‍යා දෘෂ්ටියේ පිහිටල ‍වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා.. “ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වඤ්චාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය..එය සනාතන සත්‍යයක්. බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි. “පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකට බව අප පැවසුවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා..අපි දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවා සිටිමු.. “ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බඹුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි ගාමණී, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්. එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, ‍මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..” ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට ‍කර බැඳලා………නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද..?” එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.” “ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද..?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා..” ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා.. “ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි..” “යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද.?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි..” “යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.” “යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.” “යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද..?” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..” ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා.. මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව..යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්..කර්ම කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යා දෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා. කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ. ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.. එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.. පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං අථ ‍පාපෝ පාපානි පස්සති.. “පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..” මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණ‍හොත්, ඉතා පහසුවෙන් මිත්‍යා දෘෂ්ටියට වැටී අපා ගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා..යන අදහසින් තමයි මේ සටහන තැබූයේ.. තෙරුවන් සරණයි..!!!

Sihiya Upadhawagena jeewath wemu

මේ හිතේ තියෙන ස්වභාවය අඳූනගන්ට ගොඩකට අමාරුයි. මේ ගුලිවෙලා තියෙන හිත දිහා බලල "දැන් ඉතින් හරි" කියල හිතනව. හිත කියන එක හරියට නිදාගෙන ඉන්න කොටිය වගේ. ලස්සනයි, ශාන්තයි වගේ පෙනුනට මේ ගුලි වෙලා, හැංගිලා තියෙන හිත ඉතා ම භයානකයි. ඔබට රුස්සන්නෙ නැති එක වචන මාත්‍රයක් පිටවුනොත් හිත කොච්චර ගිනිගයි ද නේද? ශාන්ත ව එලියට පෙනුනට, ඔපේට එලියට පෙනුනට, අභ්‍යයන්තරයේ විෂ සහිතයි, කටු සහිතයි, බිය සහිතයි, ගිනි ජාලවක් වගෙයි. විස යි. භයානකයි. කොයි වෙලාවෙ පුපුරල යයි ද දන්නෙ නෑ. ඒ සා බිහිසුණු යි. ඉතින් ඒ විදිහට තේරුම් ගත්තොත් අන්න එයා සිහියෙන් ඉන්නව. ඇයි ඒ? එයා දන්නව පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත කැළඹෙනව. පොඩ්ඩ වැරදුනා නම්, මේ හිත බිහිසුණු දෙයක් බවට පත්වෙනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත විසින් මාව නසනව. පොඩ්ඩ වැරදුනා නම් මේ හිත මාව අමාරුවෙ දානව කියල එයා දන්නව. එයා ඉතාමත් ම සිහි කල්පනාවෙන් වාසය කරනට පුරුදු වෙනව. අන්න ඒ විදිහට තමාගේ ස්වභාවය තමා දැනගෙන වාසය කළොත්, තමන් තුළ උපදිනව ශාන්ත බවක්. ඒ ශාන්ත බව, කලින් තිබ්බ ශාන්ත බවත් එක්ක සමානයි ද? වෙනස් ද? වෙනස්. අන්න ඒ ශාන්ත බව උපදවා ගන්න. ඒ ශාන්ත බව පොඩි දේකින් කැළඹිලා විනාශ වෙන්නෙ නෑ. කලින් තිබ්බ ශාන්ත බව සැනකින් විනාශ වෙනව. සැනකින් බි‍ඳෙනව. සැනකින් ඒක අතුරුදහන් වෙනව. ඇයි එහෙම වෙන්නෙ? මොකක දෝෂයෙන් ද? මොකක් ද ඌනතාවය? සිහිකල්පනාව යි. සිහිකල්පනාව තිබුන නිසා තමයි දෙවෙනියට කිව්ව "ශාන්ත බව" සැනකින් විනාශ නොවෙන්නෙ. එතකොට ඒ සිහිකල්පනාව ඉපදුනේ මොකෙන් ද? තමන්ගෙ ස්වභාවය ගැන තමන් තේරුම් ගැනීමෙන්. ඒකටයි ප්‍රඥාව කියන්නෙ. තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගන්නව. එතකොට එයා ආරක්ෂිතයි. තමන්ගෙ ස්වභාවය තමන් තේරුම් ගත්තහම, තමන් සිහිකල්පනාව උපදවා ගන්නව. එයා දන්නව අවදානමක් තියෙනව කියල. එයාට සිහිකල්පනාව උපදිනව. ඊට පස්සෙ එයා ආරක්ෂිතයි. සිහිකල්පනාව උපදවගත්ත කෙනා ඒ ශාන්ත බවට කැමතියි. එයා ඒක නැසෙන්ට දෙන්නෙ නෑ. එයා දන්නව මේ ශාන්ත බව නැසෙන්නෙ මොකෙන් ද? කියල. අන්න ඒ ශාන්ත බව නැසෙන්ට හේතුවන දේ බැහැර කරගන්ට එයා කැමතියි. ඒ විදිහට තමයි ධර්මය කරා යන්ට තියෙන්නෙ. ඒ නිසා හොඳට තමන්ගෙ ස්වභාවය තේරුම්ගන්න. හිතේ ස්වභාවය තේරුම්ගන්න. එතකොට ඔබ නිරායාසයෙන් ම සන්සුන් වෙලා ශාන්තව වාසයකරයි, සිහිය උපදවාගෙන. ඒ නිසා සිහිය උපදවගන්න. සිතට රැකවරණය සිහියෙන් තමයි ලැබෙන්නෙ. සිහිය ඉපදුනහම සිත ආරක්ෂා වෙනව. ඒකයි සිතේ ආරක්ෂාවට තියෙන 'සිහිය' කියල කියන්නෙ. සිත ආරක්ෂා වෙන්නෙ මොකෙන් ද? සිහියෙන් තමයි සිත ආරක්ෂා වෙන්නෙ. මොනවයින් ද, ඒ ආරක්ෂා කරන්නෙ? කෙලෙස් හිතට එන්ට නොදී ආරක්ෂා කරනව. එහෙනම් සිහිය ඉපදෙන්ට ඉපදෙන්ට හිතේ තියෙන අපිරිසිදු බව දුරුවෙනව. දුරුවෙන්නෙ ඇයි? ඒ හිතේ තියෙන යම් කෙලෙස් තියෙනව නම් ඒ කෙලෙස් බලවත් වෙන්නෙ නෑ. ඒව ක්‍රම ක්‍රමයෙන් දිරන්ට පටන්ගන්නව. ඊට පස්සෙ හිතට පිටින් යම් අරමුණු ආදිය එන එක වලකිනව. ඒක තමයි සිහියෙන් කරන්නෙ. ඒ නිසා සිහිය උපදවා ගන්න. සිහිය උපදවා ගත්තොත් ඔබ ධර්මයට පැමිණෙනවාම යි. ඒක වලක්වන්ට කිසියම් ම කිසිකෙනෙකුට බෑ. ඔබ ධර්මයට පැමිණෙන එක වලක්වන්ට බෑ කුමක් වුනොත් ද? සිහිය උපදවා ගත්තොත්. ඒ සා බලවත් වූ සිහිය උපදවගන්ට පුළුවන්නේ කුමකින් ද? තමන්ගේ ස්වභාවය ගැන තේරුම් ගැනීමෙන්. තමන්ගෙ ස්වභාවය ගැන තේරුම් ගත්තොත් එයා සිහිකල්පනාව උපදවා ගන්නව. ඊට පස්සෙ ඉතා සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට එයාට පුළුවන්කම ලැබෙනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Be happy with Dhamma life...

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිතබව අපිට තේරෙන්ට ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අද්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලූත් ජීවිතයක් ඉපදෙනව. යමෙක් තුළ විශ්මය උපදින්නේ, ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, ” මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා” කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප‍්‍රමුදිත බව, ප‍්‍රබෝධය හටගන්නව. ඒ මොහොතේ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත. ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩකඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩකඩ අඩුයි. සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩකඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩකඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනාකර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි සාමාන්‍ය අයගේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ. ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්ට ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳු ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි. දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා, මේ මුලූ හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා. එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සළසගන්න ඕනැ. එහෙම වෙන්න නම්, ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ විදිහට සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ‍්‍රද්ධාවමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයින්ට තමයි ධර්මයේ පිහිට පිළිසරණ තිබෙන්නේ. ධර්මයේ පිහිට පිළිසරණ කියල කියන්නේ සැබවින් ම සතුටින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම, සොම්නසින් වාසය කරන්ට පුළුවන් ජීවිතයක් උපදවගැනීම. අපිට සතුටෙන් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, සොම්නසින් වාසය කරන්ට පුළුවන්කම නැත්නම්, අපි ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබාගත්තද? කියන කාරණය අපි ම කල්පනා කරල බැලිය යුතුයි. අපි සූත‍්‍ර දේශනා වලින් අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප‍්‍රකාශකරනව, ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳුරේ සිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ” කියල එයාගේ ප‍්‍රසාදය සතුට ප‍්‍රකාශකරනව නේද? ඒ විදිහේ ප‍්‍රකාශ සඳහන්වන දේශනා අපි අහල, කියවල තියෙනව නේද? ඒ අය තුළින් එබඳු ප‍්‍රකාශ එන්නෙ ඇයි? ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුණ නිසා තමයි එහෙම ප‍්‍රකාශ කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප‍්‍රකාශ කරනව. ඊළඟට එයා ප‍්‍රකාශ කරනව, ”ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා” කියල. එහෙම නැත්නම් ”මා පැවිදිකරගන්නා සේක්වා” කියල එයා ශ‍්‍රාවකත්වයට පැමිණෙනව. එතකොට එයා හිත පහදවාගෙන තමයි ධර්මය අහන්නෙ. එතකොට එයා අහන දේ ගැන එයාගෙ විස්මය උපදිනව. එයාට සිහිවෙනව,” මා කාවදාවත් නොඇසූ දෙයක් නේද ඇහුවේ. යට පැත්තට හැරවූ දෙයක් උඩ පැත්තට හැරෙව්වා වගේ. මං හිතපු දේ නෙවෙයි මේ. නොඇසූ දෙයක් මම ඇහුවා කියල” ඒ ධර්මයට එයා පහදිනව. එතකොට ශ‍්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඇසු ධර්මය ගැන පැහැදීමක් සතුටක් ඇතිවීමයි. ඒ සතුට මුල්වෙලා ධර්මයෙන් පිළිසරණ ලබන්ට අපේ හිතේ කැමැත්තක් ඇතිවෙනව. දැන් බලන්න අපි කාමයන් දැකල ඒකෙන් සතුටුවෙලා ඒකෙන්ම පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප‍්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා, අපි ඒ ගැනම හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල. එහෙම නේද? ඒ විදිහටම යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුණොත්, එයා කැමතිවෙනව, ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ‍්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම් ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ. අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට ඕනෑ. ධර්මයෙන් සතුටුවුන කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න පුළුවන්. එතනින් ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන්ගන්නෙ. ඒ අවබෝධය අදහාගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනව. අපිට අමාරු ඒක කරගන්ටයි. අපි කොහොම හරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවටවත් පත්වෙන්ට. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සිවෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයට පහදින්න. ධර්මයට පහදින කෙනා භාග්‍යවතුන් වහන්සේට පහදිනව. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට. ඒ අමාරුම දේ තමයි අපි ඉස්සෙල්ලා ම කරගත යුත්තේ, ඉතුරුටික ඊට පස්සෙ කෙරෙනව. යම් කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්, ශ‍්‍රද්ධාව ඇතිවුනොත් එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මය අවබෝධ කරගන්ට, පුරුදුකරගන්ට කැමැත්ත උපදිනව. කැමැත්ත ඉපදුණ කෙනා, ඒ සඳහා වෑයම් කරනව. ඒ වෑයම් කරන කෙනාට, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් ද ප‍්‍රකාශ කළේ, ආන්න ඒ පිළිබඳව එයාට වැටහීමක් ඇතිවෙනව. එයාට වීරිය උපදිනව. එයා වීරියෙන් ඒ ධර්මය පුරුදුකරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනව. එහෙනම් අපි මහන්සිවෙලා කරගතයුතු දේ මොකක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම. අපි අප‍්‍රමාණ මිනිස්සු ගැන අහල තියෙනව, රජවරු ගැන අපි අහල තියෙනව, වීරියවන්තයින් ගැන අපි අහල තියෙනව නමුත් භාග්‍යවතුන් වහන්සේට තිබුනු ගුණ කාටවත් තිබුනෙ නෑ. මේ ගුණ දැනගත්තු කෙනා පුදුම වෙනව. ඒ පුදුම වීමත් එක්කම එයාට සිද්ධවෙන දේ තමයි එයාගෙ සිත සංසුන් වෙනව. ”ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කෙරෙහි පහදින කෙනාගේ හිත සංවර වෙනව. ”භාග්‍යවතුන් වහන්සේ මේ මේ විදිහේ ගුණ වලින් යුක්තයි ඒ උතුමන් වහන්සේ කුමක්ද කියාදුන්නේ?” කියල අහන්න හිත නැමෙනව. අන්න එතකොට සද්ධර්මයට අපි ඇහුම්කන් දෙනවා. එතකොට එයා සතුටට පත්වෙනව මේ මේ ගුණයන්ගෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ කිව් දේ නේද මේ කියල. ඉපදුණ මනුස්සයාට, ඉපදුණ දෙවියන්ට, මේ කාටත් තිබෙන ලොකුම අනතුර තමයි, සතර අපායක ඉපදෙන්ට බොහෝ ඉඩකඩක් තිබීම. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, මැරෙන මිනිස්සුන්ගෙන් නැවත වතාවක් මනුස්ස ලෝකයට, එහෙම නැත්නම් සුගති ලෝකයකට එනව නම්, එන්නේ ඉතාම ටික දෙනෙක් කියලයි. ඒක හරියට නියපොත්තට ගත්තු පස් ටික වගේ ඉතාමත්ම සු`ඵ පිරිසක්. මහ පොළොවෙ පස් වගේ විශාල මිනිසුන් ප‍්‍රමාණයකට මිය පරලොව ගිහිල්ල ආයෙ උපදින්ට සිද්ද වෙන්නේ, සතර අපායේ.. මේක පුංචි අනතුරක් නොවෙයි. නුවණ තිබෙන මනුස්සයාට තිබෙන ලොකුම අභියෝගය මේ සතර අපායෙන් නිදහස්වීම යි. මෙබඳු ස්වභාවයක් අපිට තිබෙනව කියල දැනගන්ට ලැබෙන්නෙ, අපි ඉගෙන ගන්නෙ, බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහල පිළිගත්තොත් විතරයි. එහෙම නැති වුනොත්, හරියට අද දවස ගැන පමණක් දන්න කෙනා, හෙට ඉර පායනව, හෙට දවසක් එනව කියන කාරණය දන්නෙ නෑ වගේ. අන්න ඒ වගේ අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය නොදන්නව නම්, මරණයෙන් මත්තේ ආයෙ ඉපදෙන්ට ලැබුනොත්, ඉපදෙන ස්වභාවයෙන් යුක්ත වුනොත්, ඉපදෙන විදිහට සකස් වෙලා තිබුණොත්, අපිට ඉපදෙන්ට සිදුවෙනවා කියන දේ දන්නෙ නෑ. බුදු රජාණන් වහන්සේගේ ධර්මය අහන්ට, දැනගන්ට නොලැබුනානම්, ඉපදෙන්ට තිබෙන තැන් කොයි වගේද? කියන කාරණාවත් අපිට දැනගන්ට ලැබෙන්නේ නෑ. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, අපිට ප‍්‍රමාණ රහිත වූ ලාභයක් මේ වන විටත් ලැබිල තිබෙනව. මොකක්ද ඒ ලාභය? අපේ ජීවිත හමුවේ තිබෙන මහත් වූ අනතුර කුමක්ද කියල දැනගන්ට ලැබෙනව. මෙතරම් ලාභයක් ලැබුන අපි කල්පනා කළ යුත්තේ, මේ ලාභය අත් නොහැරෙන විදිහට අපේ ජීවිතයට සම්බන්ධකර ගන්නට යි. ඒනිසා අපි අපේ ජීවිතය හැඩගහ ගැනීම පිණිස, සංවර වීම පිණිස කරන දේවල් උනන්දුවෙන් කරන්ට ඕනැ. උනන්දුව ඇතිවෙන්නෙ, ඒවා ගැන හොඳට සසඳල බැලීමෙන්. අපි කලින් කළ දේ සහ දැන් කරන දේවල් ගැන හොඳින් සසඳලා බලන්න ඕනැ. අපිට බුදුකෙනෙක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබීම කොච්චර ලාභයක් ද කියල යම් කෙනෙකුට තේරුණොත්, එයා සතුටු සිතින් ඒව හොඳට පුරුදුකරන්න කල්පනා කරයි. කල්පනා කරල බලන්න අපිට බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියා දුන් දෙයක් කරන්ට ලැබුන කිව්වහම, ඒක ජීවිතයට පුංචි ආශිර්වාදයක්ද කියල. අපි වගේ කෙනෙකුට හිතාගන්ටවත් බෑ නේද බුදුරජාණන් වහන්සේ නමක් විසින් කියාදුන්න දෙයක් කරන්ට ලැබෙනවා කියන කාරණය අපිට හිතාගන්ටවත් බැරි තරම් භාග්‍යයක් ලැබුනේ. ඒ නිසා නිරන්තරයෙන් ඒ කාරණය සිහිකරන්න. අපි බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් දෙයක් පුරුදුකරන්ටයි මහන්සිවෙන්නෙ, අපි ඒකයි මේ කරන්නෙ කියල සිහිකරන්න. සිහිකරන වාරයක් පාසා ඔබට සතුට උපදී. ප‍්‍රීති ප‍්‍රමෝදය ඇතිවෙයි. ඒ කටයුතු කලාට පසුවත් හිතන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ නේද මම කළේ. ඒක නේද මම පුරුදුවෙන්නෙ. බුදුරජාණන් වහන්සේ කියා දුන්න දේ නේද මම පුරුදු වුනේ කියල කල්පනා කරන්ට. එතකොට සතුටු සිතින් කාටත් ඒ කටයුතු කරන්ට පුළුවන්කම තියෙයි. අපි මේ ධර්මය නොදන්න කාලේ, ධර්මය අහල තිබුනෙ නැති කාලේ, අපිට බුදුරජාණන් වහන්සේ කියාදුන් දෙයක් කරන්ට බැරිවුනානෙ, අපි හරි යි කියල කළේ හිස් දේවල්නෙ, කියල ගළපල බලන්න. එතකොට අපිට ආපහු සැරයක් එබඳු දේ කරන්ට හිත නැමෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කියාදුන් දේ ම කරන්ට අපේ හිත නැමෙයි. එතකොට අපිට නැවත නැවත ධර්මය අහන්ට, ඒ ධර්මය පුරුදුකරන්ට, මතකතියා ගන්න. එතකොට ධර්මයේ හැසිරෙන්ට කැමත්ත ඇතිවෙයි. එයා තමන් තුළම ඇති උනන්දුවකින් ධර්මය පුරුදුකරයි. එයාට තව කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව තමන් ම උනන්දුවෙන් කුසල් කරන කලක් ඇති වෙනව. ඒ එන්නෙ ධර්මය ජීවිතයට ගලපල බලනකොට යි. අපි මේ කරන කියන පින් දහම් ආදී දේවල් හොඳට තේරුම් අරගෙන, ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන් දෙයක් නේද කරන්නෙ කියල තේරුම්ගන්න. ඒත් එක්ක ආර්ය සත්‍යය හොඳට ඉගෙන ගනිමින් ජීවිතයට ගළපමින් බලන්න. ඒ දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්මය ජීවිතයට ගලපමින් බලන්න. එතකොට අපිට කැමැත්ත උපදී ධර්මයේ හැසිරෙන්ට. මේ ධර්මය විශ්වාස කරන්න. මේක අදහාගන්න. එයාට පුළුවන්කම ලැබෙනව සංසාර ගමන අවසන්කරල දාන්න. අපි කාටත් ආශිර්වාද කරන්ට කැමතියි ඒ භාග්‍යවතුන් වහනසේගේ ශ‍්‍රාවකත්වය බලවත් කර ගැනීම පිණිස සියලූ දෙනාට ම භාග්‍ය උදාවේවා කියල. පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Life

ජීවිතය කියා කියන්නේ එදා මෙදා තුර ලෝකයේ ජිවත් වූ බොහෝ දෙනෙකුට කිසිදා නො විසඳුනු ගැටළුවක්, තවත් පැත්තකින් අභිරහසක්. මේ ජීවිත ගැටලුවට විසඳුම් සොයා ගිය මිනිසුන් නොයෙක් දෘෂ්ටි මතවාද සහ සංකල්ප තුළ පැටලුණා. ඒවා තුළ ම ගිලෙමින් ඉප‍දෙන මැරෙන සංසාරයට ම ඇද වැටී මහපොළොවට පස් එකතු කරමින් තෙරක් නොපෙනන ගමනක, ඉතා අවාසනාවන්ත ලෙස ඇවිද යන්නට ඒ අයට සිදු වුණා. අදත් ඒ ගමන එහෙම ම යි. මින් වසර දෙදහස් හයසිය ගණනකට පෙර අප ගේ සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ ත් ජීවිතය තුළ තිබෙන ජාති ජරා මරණ ගැටළුවට විසඳුම් සෙවීම පිණිස, “අනුත්තර වූ ශාන්ත වරපදය” සොයා ගිහි ගෙයින් නික්මී ගියා. උන්වහන්සේ ඒ ආර්ය පර්යේෂණය උදෙසා ගිහි ගෙයින් නික්ම ගියේ එක් ජීවිතයක දී පමණක් නොවෙයි. පෙරුම් දම් පුරමින් පැමිණි සසරේ අප්‍රමාණ ජීවිතවල දී මහබෝසතාණන් වහන්සේ ජීවන ගැටලුවට විසඳුම් සෙවීමේ අටියෙන් කාම සම්පත් හැර දමා නික්ම ගියා.

ප්‍රඥාව උපදවාගනිමු

මනුෂ්‍යයෙක් දියුණුවෙලා යනව නම් ඒ ඉහළම දියුණුව, සුපිරිසිඳූ වූ දියුණුව, ඇතිවෙන්නේ රාග, ද්වේශ, මෝහ දුරුවීමෙන්. එතකොට රාග, ද්වේෂ, මෝහ දුරුවීම පිණිස එයාට බලවත් සේ උපකාර වෙන්නේ ප්‍රඥාව. යමෙක් තුළ ප්‍රඥාව බලවත්නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ, දුරුකරගැනීමේ හැකියාව, ඉඩ කඩ, අවකාශය බලවත්. යමෙකුට ප්‍රඥාව දුබලයි නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ හැකියාව, ඉඩකඩ, අවකාශය දුබලයි, අඩුයි. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව බලවත් වෙනවා නම් අන්න ඒ කාලයේදී ඒ මනුෂ්‍යයින්ට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ ඉඩකඩ ඉහළ මට්ටමක තියෙනව. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව දුබලයි නම් අන්න ඒ කාලයේදී මනුෂ්‍යයාගේ රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමට තිබෙන ඉඩකඩ දුබලයි. ප්‍රඥාව ඉහළ මට්ටමකින් තියෙනව නම් ඒ කාලේදී සිද්ධවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ප්‍රඥාව බලවත් කෙනාට රාග, ද්වේශ, මෝහ වලින් හිත යටවෙන්නෙ නැතුව පවත්ව ගන්ට, කුසල් සිත් උපදවගන්ට පුළුවන්. එතකොට ප්‍රඥාව බලවත් කාලෙකදි වෙන්නෙ කුසල් සිත බලවත් වීමයි. පුංචි කුසලයකින් බලවත් අකුසල සිත මැඩගෙන ඉන්ට පුළුවන්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලෙදි බලවත් සේ ප්‍රඥාව සහිත ප්‍රඥාවන්තයින් තමයි පහළවෙන්නෙ. ඒ අයට ධර්මය කියන පමාවෙන් ඒ ධර්මය අවබෝධකරන්ට අවස්ථාව ලැබෙන්නෙ ඒකයි. ධර්මය අවබෝධකරනවා කියන්නෙ රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා කියන එක. ක්‍ෂය කරල දානව, නැතිකරල දානව. ඒක පොඩි වෙලාවකින් කරගන්ට පුළුවන් වෙන්නෙ ඒකයි ඒ කාලෙදි. නමුත් ඒ යුගයේදීම මනුෂ්‍යයාගේ ප්‍රඥාව පිරිහෙන මට්ටමට ලෝකය වෙනස්වෙලා ගියා. ඒ නිසාම ඒ භාග්‍යවතුන් වහන්සේට ධර්මය කියල බලවත් වෙහෙසට පත්වෙන්ට සිද්ධවුනා. ඒ මහ රහතන්වහන්සේලාට ධර්මය කියමින් අවවාද කරමින් බලවත් සේ වෙහෙසෙන්ට සිද්ධ වුනා. ඇයි ඒ ? ප්‍රඥාව දුබල වූ අයගේ ඉපදීමත් එක්ක. ප්‍රඥාව දුබලවෙන යුගය ඒ කාලෙදීම ආරම්භ වුනා. ඒකයි අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළේ "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අවවාද කරන්ට බෑ. අවවාද කරන්ට අමාරුයි" කියල. උන්වහන්සේ ප්‍රකාශ කළා නේද? මතකද එහෙම කාරණාවක්? අවවාද කරන්ට අමාරුයි, මේ අවවාද නුහුරටමයි ගන්නෙ කියන කාරණාවක් ප්‍රකාශ කළා නේද? ඒත් භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් අවවාද කරන්ට කියල ඉල්ලා සිටිය. නැත්නම් ඒ කාශ්‍යප රහතන් වහන්සේ අවවාද කිරීමට මැළිවුනා නේද? අවවාදය නුහුරටයි ගන්නෙ අද කාලෙ. අවවාදය නුහුරට අරගෙන බලවත් විනාශයන් කරා ඒ ගොල්ලන්ගෙ ජීවිත ගොදුරුකර ගත්ත. ඉතින් ඒ ප්‍රඥාව පිරිහීමේ හේතුවෙන් ඒක සිද්ධවෙන්නෙ. ප්‍රඥාව පිරිහීමත් එක්ක අවවාදය කියන එක අඳූරගන්ට බෑ. මේක යහපත පිණිස අපිට කියන දේ කියල අඳූනන්ට බෑ. දැන් ගුරුවරයා පන්තියේදී වේවැල් පාරක් ගහනව. ගුරුවරයා කෙරෙහි ප්‍රේමයෙන් වාසය කරන මෛත්‍රී සිතින් වාසය කරන කෙනාට ඒ වේවැල් පහර මිහිරියි. මේ පණිවුඩය හිතාගන්ට පුළුවන්ද ඔබට. හිතාගන්ට බැරි එකක් නේද? ගුරුවරයා කෙරෙහි මෛත්‍රී සිතින් වාසය කරන, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කරන ශිෂ්‍යයාට වේවැල් පහර මිහිරි දෙයක්. හිතාගන්ට පුළුවන්ද ඒ කාරණේ. අන්න ඒක තමයි ප්‍රඥාවේ දුබල බව කියල කියන්නෙ. මේ ලෝකේ කව්ද පිළිගන්නෙ වේවැල් පහර මිහිරියි කියල. හිතාගන්ට බෑ නේද? මේක උඩු යටිකුරු වෙච්ච කතාවක් නේද? ඒකයි ප්‍රඥාවේ ස්වභාවය. ප්‍රඥාවෙන් යමක් දැකගන්නව කියන්නෙ ඒකයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දෙපැත්තෙන් මිට තියෙන කියතකින් තමන්ගේ ශරීරය කපද්දී වුනත් මෙත් සිතින් වාසය කරනවා කියලා. මතකද? බලන්න ඒ උදාහරණෙ. එතකොට බලන්න ඒක උඩු යටිකුරු වෙච්ච ප්‍රකාශයක් නේද? ලෝකෙ කාටද මෙහෙම පුළුවන්නෙ? පුළුවන් කියල හිතන්ට බෑ නේද? කිසි කෙනෙක් හිතනවද? හැබැයි තථාගත ශ්‍රාවකයා එහෙම නෑ. ඒක සිත තුළ හටගත් ධර්මතාවයක්. අන්න එබඳූ බලවත් ධර්මතාවයක පිහිටි සිත තමයි සසරින් නිදහස් වෙන්නේ. ඒක ප්‍රඥාව විසින් ප්‍රඥාව මගින් සිතේ උපදවගන්නා වූ ධර්මයක්. ඒක අපි තෝරා බේරා ගත යුතුයි. ප්‍රඥාව බලවත් නම් පුංචි කුසලයකින් මහා අකුසලයක් මැඩලන්ට පුළුවන්. කුසලය කියන්නෙ අන්න එබඳූ දෙයක්. නමුත් කුසලය බලවත් වන්නෙ ප්‍රඥාවෙන්. දැන් තේරුණාද අද යුගයේ අපිට තිබෙන අභියෝගය. අද යුගය ප්‍රඥාව දුබලවෙන යුගයක් කියල තේරෙනවද? ඉතින් එබඳූ යුගයක තමයි අපි ඉපදිලා ඉන්නෙ. ඒ නිසා අපිට තියෙන අභියෝගය අපි පිළිගත යුතුයි. අපිට තිබෙන අනතුර අපි පිළිගත යුතුයි. අන්න එසේ පිළිගැනීමෙන් ම අපි ප්‍රඥාවන්තයින් බවට පත්වෙනව. අද අපිට ප්‍රඥාව උපදවගන්ට බෑ කියල අපි කියන්නෙ නෑ. පුළුවන්. අපි මේ සිද්ධිය තේරුම්ගැනීම ම ප්‍රඥාව. මෙන්න මෙබන්දක් අපිට තියෙනව කියල තේරුම්ගත්ත සැනින් අපිට ඇතිවිය හැකි අවදානමින් බේරෙන්න අපි පිළියම් යොදනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

භාග්‍යවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධය

අපේ හිත නිතරම කැරකිලා අමාරුවේ වැටෙන පැත්තට යන ස්වභාවයක් තියෙනව. හිත සුමගට ගන්නා තෙක් ඉන්නෙ නොමග. එතකොට සුමගට මේ හිත වැටෙන්නෙ කවදද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ ශ්‍රද්ධාවක් හෝ යම් කෙනෙක් තුළ හටගන්නව නම් ඒ මොහොතේ පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව. එතනමයි තැන. වෙන තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් හටගන්නෙ යම් අවස්ථාවකද, යම් දවසකද එතැන් පටන් එයාගෙ හිත සුමගට යොමුවෙනව. දැන් ඔබගේ හිත නොමග ගිය එකක්ද? සුමග ගිය එකක්ද? නොමග ගිය එකක්. නොමගයි මේ හිත බොහෝ කලක් තිබුනෙ. ඉතින් ඒක සුමගට ගන්ට ඕනැ. ඉතින් ඒක සුමගට ගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන් පමණමයි. වෙන ක්‍රමයකින් නෙවෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් නොමග ගිය හිත සුමගට ගන්ට පුළුවන්. ඒක ඒකාන්ත වශයෙන් සිද්ධවෙන එකක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගත්තොත් ඒ හිත නොමගට ඇදල දාන්න කාටවත් බෑ. එතකොට භාග්‍යවතුන් කෙරෙහි පැහැදීම ඇතිකරගැනීම තමයි විසින් කළ යුත්තෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකරගන්නෙ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ තිබුන විස්මිත අවබෝධය තේරුම් ගැනීමෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධය අපි තේරුම් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදිනවා කියන එක වලක්වන්ට කාටවත් බෑ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිවුනොත් නොමග ගිය සිත සුමගට එනවා කියන එක වලක්වන්න කාටවත් බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපි තේරුම් ගන්න තියෙන්නේ කුමක් මුල් කරගෙනද? ආර්ය සත්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේ කළ විස්තර ඉගෙන ගැනීමෙන්. ආර්ය සත්‍යය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවිධ විදිහට විස්තර කරනව. ඒ විස්තර ඉගෙන ගැනීමෙන්ම පමණයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපිට තේරුම් ගන්න තිබෙන්නේ. වෙන ක්‍රමයකින් බෑ. ඉතින් අපි ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙන්ට ඕනැ. ඒ සතුටුවීම පිණිස අපි ඉගෙන ගන්ට ඕනැ. අන්න ඒ විදිහට අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වෙමින් ඉගෙන ගත්තොත් ඒ මොහොතක් මොහොතක් පාසා අපි බුද්ධානුස්සතියක් තුළමයි වාසය කරන්නෙ. ඒ අය සතුටින් ඒ ධර්මය විනය ඉගෙන ගන්නව. ඒ විදිහට ඉගෙන ගන්ට ඉගෙන ගන්ට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ අය තුළ ගෞරවයක් උපදිනව. ඒ අය ඒ ධර්මය විනය කිසි දවසක තමා වැජඹීම පිණිස, තමාට තත්වයක් ඇතිකරගැනීම පිණිස පාවිච්චි කරන්නෙ නෑ. එයා බයයි. එයා කිසි කලෙක එහෙම කල්පනා කරන්නෙ නෑ. එයා කල්පනා කරන්නෙ මේ හීන ජීවිතය පිරිසිදු කරගන්න ඕනැ කියල. එනිසා ඔබ ඒ ධර්මය විනය ඉගෙන ගැනීමේදී ඒ විදිහට ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටු වීම පිණිස සතුටු වෙමින් මේ විශ්මිත වූ ධර්මය ඉගෙන ගන්න. එතකොට ඔබ අතිශය වාසනාවන්තයින් බවට පත්වෙයි. අපි කාටත් සෙත් පතනව ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන මහත් සේ සතුටුවෙමින් ප්‍රීති සොම්නසට පත්වෙමින් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම උපදවගෙන ඒ පැහැදීම ස්ථිර කරගන්න මේ සියළු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා! කියල. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Saptha Bojjanga

රෝගාබාධවලට ලක්වූ අවස්ථාවල රෝගියා නිසි වෛද්‍යවරයකු වෙත පමුණුවා රෝගයට සුදුසු ඖෂධ කයටද මනසට ‘දහම් ඖෂධය’ ද ලබාදීම රෝග නිවාරණයට පිළියම බව බටහිර වෛද්‍යවරු පවා පිළිගෙන තිබේ. ඒ නිසා මනා වැටහීමකින් ‘සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්’ ගේ් අඩංගු ‘සප්ත බොජ්ඣංග‘ ධර්ම මෙනෙහි කිරීම රෝගී අවස්ථාවලදී පමණක් නොව නිතරම මෙනෙහි කිරීම අපට ද ගුණදායක ය. ‘’සත්හට වන බව දුකට වෙදාණන්’’ වූ අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ භව දුකට පමණක් නොව කායික හා මානසික දුකට ද, අට අනූවක් රෝග එකසිය අටක් අතුරු අන්තරායනට ද වෙදාණන් වූ සේක. පුහුදුන් අප පමණක් නොව තමන් වහන්සේ ද ලෙඩට දුකට පත්වන බව තමන් වහන්සේට උපස්ථායකයකු පත්කර ගැනීමේදී ක්‍රියාවෙන් පෙන් වූ සේක. තමන් වහන්සේ අසනීප වූ අවස්ථාවක ආනන්ද තෙරුන් අමතා, ‘පරිජිත්තං මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං හුජ්ජති පූති සන්දේහෝ මරණං තං හි ජීවිතං’ යනුවෙන් ‘ආනන්දය, දිරාගිය මේ රූපය ලෙඩ කූඩුවකි. වහා නැසෙන සුළුය. නව දොරකින් කුණු වැගිරේ. ජීවිතය මරණයෙන් කෙළවර වේ’ යැයි තමන් වහන්සේම උපමා කොට දැක් වූ සේක. රෝගයන්ට නිජබිමක් වූ අපගේ කය රෝගා බාධයට ලක්වූ විට ඇතිවන කායික හා මානසික අසහනය අපමණය. රෝගා බාධයට ලක් වූ අය මොහොතින් මොහොත විශාල බියකින්, තැති ගැනීමකින් පසුවන බව කිව යුතු නොවේ. තමා පිළිබඳව හෝ කම නිසරුකය පිළිබඳව හෝ මනා වැටහීමක් නොමැත්තේ මේ නිසාම වඩාත්ම කම්පනයට පත්වේ. එසේ වනුයේ සිත පිළිබඳව හෝ යම් පාලනයක් ඔවුන් සතුව නොමැති බැවිනි. සීල භාවනාවන් හි නිතරම යෙදී අනන්ත අප්‍රමාණ බියකරු සසර ගැන මනා වැටහීමක් ඇතිව නිසරු කයේ නිසරු භාවය පිළිබඳව හා සක්කාය දිට්ඨිය හෙවත් මම ය, මාගේ ය යන හැඟීම ඇතිවීම වලක්වා මහා කස්සප ථේර බොජ්ඣංගය හා ගිරිමානන්ද සූත්‍රය මෙනෙහි කිරීම වඩා අසාධ්‍ය වූ රෝගාබාධයනට සහනයක් ලැබීමට දිව්‍ය ඖෂධයක් බව නොවලහා කිව යුතුය. කුමන අන්දමේ ඖෂධ ප්‍රතිකාර ගත්තද එයින් මනා සහනයක් ලබාගත හැකි ඒකායන මාර්ගය ‘බුදු දහම’ ජීවිතයට ආදේශ කර ගැනීමයි. වඩා දරුණු රෝග බාධයකට ලක් වූ මහා කස්සප තෙරුන්වහන්සේ, රෝගපීඩා වැළඳීමෙන් කායික, මානසික පීඩාවට පත් වූ අවස්ථාවේ අප ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් උන්වහන්සේ වැඩසිටි පිප්පීලි ගුහාවට රජගහපුර වේළුවනාරාමයේ සිට වැඩම කර දේශනාකරන ලද ‘මහා කස්සප ථේර බොජ්ඣංග සූත්‍රය’ එදා උන්වහන්සේ පමණක් නොව මෙදා රෝගාබාධයනට ලක්වන අපට ද දිව්‍ය ඖෂධයකි. අප විසින් කළයුත්තේ, රෝගාබාධවලට ලක්වූ අවස්ථාවල රෝගියා නිසි වෛද්‍යවරයකු වෙත පමුණුවා රෝගයට සුදුසු ඖෂධ කයටද මනසට ‘දහම් ඖෂධය’ ද ලබාදීම රෝග නිවාරණයට පිළියම බව බටහිර වෛද්‍යවරු පවා පිළිගෙන තිබේ. ඒ නිසා මනා වැටහීමකින් ‘සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්’ ගේ අඩංගු ‘සප්ත බොජ්ඣංග‘ ධර්ම මෙනෙහි කිරීම රෝගී අවස්ථාවලදී පමණක් නොව නිතරම මෙනෙහි කිරීම අපට ද ගුණදායක ය. මෙම සප්ත බොජ්ඣංග ධර්ම නම් කවරේද? සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ඛා යනුයි. බෞද්ධයාගේ් ඒකායන අරමුණ මේ බියකරු සසරින් එතෙරව ලබන්නා වූ අමා මහ නිවනයි. ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව අප දෛනිකව කටයුතු කළ යුතුය. ඒ අනුව මනා සිහියෙන් යුතුව කටයුතු කිරීම සති බොජ්ඣංගය යි. ගිරිමානන්ද සූත්‍රයේ ‘’ඉති ඉමස්මිං කායෝ විවිධා ආබාධා උප්පජ්ජති...’’ වශයෙන් මිනිසාට විවිධාකාර රෝගාබාධ 39 ක් වැළෙඳන බව බුදුන්වහන්සේ පෙන්වා දී තිබේ. එවැනි අවස්ථාවක රෝගියා තමාගේ සිහිය මනාකොට පිහිටුවා ගත යුතුය. සම්මා සතිය යනුවෙන් හඳුන්වන සිත අකුසලයට බර නොවී කෝප නොවී, ඉවසීමෙන් යුතුව නිසි ඖෂධ ආදිය රැගෙන මේ ශරීරය ලෙඩ කුඩුවක් බව මෙනෙහි කරමින් කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා අත්‍යාවශ්‍ය කරුණකි. සිහිය පිළිබඳ මේ බෝධි අංගය (1) සති සම්බොජ්ඣංගය නම් වේ. එය බුද්ධත්වය පවා ලබා ගැනීමේදී බෝසතාණන් වහන්සේට උපකාරි වූ බෝධි අංගයකි. රෝගියා සිහියෙන් පමණක් නොව පැහැදිලිව නිවැරැදිව තම කය පිළිබඳව අනිත්‍ය බව, දුක්‍ඛ බව, අනාත්ම බව මෙනෙහි කළ යුතුය. සම්මත සත්‍යයේ සියල්ල පරමාර්ථ සත්‍යයට එකඟව ත්‍රි ලක්ෂණයට අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වේ. මෙය අප අවබෝධ කරගත යුතුය. රෝගියා එය වටහා ගත යුතුය. එබැවින් කුසලයට බර සිතකින් සිත පිහිටුවා ගැනීමට උත්සුක විය යුතුය. ශරීරයේ අනිත්‍ය බව වටහාගෙන ඒ ගැන දුක් වෙනවාට වඩා මනා සිහියකින් සක්කාය දිට්ඨියෙන් බැහැරව යථා ස්වභාවය විමසා මනා ලෙස දැන කටයුතු කිරීම (2) ධම්මවිජය බොජ්ක්‍ධංගය වේ. නිවැරදිව හෙවත් පිරිසුදුව කයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම මෙයින් අදහස් කෙරේ. අපට මුණගැහෙන, ඇස ගැහෙන ඇසුරු කරන සියල්ල ත්‍රි ලක්ෂණයට යටත් බව පිරිසිඳව පිරිසුදුව දැන ගැනීම ධම්මවිචය බොජ්ඣංගයෙන් අදහස් කෙරේ. මෙය රෝගියකුට පමණක් නොව ඕනෑම අයකුට අවබෝධයෙන් ඇතිකරගත හැක. රෝගී අයකු නම් තමා රෝගියකු බව වටහාගත යුතු අතර, රෝගී බව පොදුවේ සියල්ලටම උරුමබව අවබෝධ කරගත යුතුය. එසේ අවබෝධකොට ගෙන එයින් මිදීමට වීර්යය හෙවත් උත්සාහ ගැනීම (3) වීර්ය බොජ්ඣංගය නම් වේ. තම රෝගාබාධයෙන් මිදීමට උත්සාහ ගන්නා වීර්යයෙන් යුතු පුද්ගලයා තම අරමුණ ඉටුවන තුරු එම වීර්ය වැඩිය යුතු ය. එය සම්මා වායාම හෙවත් වීර්යයි. තමා කළ හොඳ කුසලයන් මෙනෙහි කරමින් හැමවිටම ප්‍රසන්න බවකින් යුතුව සරලව තම රෝගි බවින් ටිකින් ටික මිදීම සඳහා පී‍්‍රතියෙන් යුතුව ඖෂධ වර්ග පවා ගත යුතුය. ඒ පිළිබඳව විශ්වාසය තම හදවත තුළ ඇතිකර (4) පීති සම්බොජ්ඣංගය වැඩීමට උනන්දු වීම එයින් සුවය ලැබීමට මනා පිටුවහලක් වේ. මෙසේ භාවනා වඩද්දී එක අරමුණකට ගැනීමේදී තමාට වෙහෙස දැනීමට පිළිවන. එවිට වෙහෙස සන්සිඳුවා ගැනීම පිණිස තම ඉරියව් පැවැත්වීම හා සමහර විට ආහාරපාන ගැනීමේදී පවා වෙනසක් ඇතිකර ගැනීම සංසිඳීම පිණිස වූ බෝධි අංගය හෙවත් (5) පස්සද්ධි සම්බොජ්ඣංගය නම් වේ. සෑමවිට රෝගී වූ ඔබ සැනසිලි සිතකින් යුක්තව වෙහෙස නොවන්නට සරු පැවැත්මක් ඇති කර ගත යුතු ය. එසේම මෙතෙක් තමා රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා කළ භාවනාව අවබෝධ කර සිත එක අරමුණකට ගත යුතුය. එවිට යහපත් සිත එක අරමුණකට ගැනීම (6) සමාධි සම්බොජ්ක්‍ධංගය නම් වේ. මෙවැනි අවස්ථාවක බුද්ධානුස්මෘති, ධම්මානුස්මෘති, සංඝානුස්මෘති හෝ ඔබට හැකි ඕනෑම භාවනාවක් රෝගි ඇ‍ෙඳ් සිට වුවද මෙනෙහි කිරීම සිත එකඟ කර ගැනීම හෙවත් සමාධි බොජ්ඣංගය බව වටහාගත යුතුය. සමාධියට පත් කරගත් රෝගී සිත සමව දෙපැත්තට නොයන සේ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එය (7) උපේක්ඛා සම්බොජ්ඣංගය නම් වේ. සිත චංචල නොවී අචලව තබා ගැනීමට ආබාධයට ලක්වූ අය උනන්දු විය යුතුය. මේ රෝගයෙන් මට කුමක් වෙයිද යනාදී ලෙස වැනෙන සුළුවීම රෝග සුවවීමට බාධාවකි. සිතේ ධෛර්ය අඩපණ නොවී පවත්වා ගැනීම මෙහිදී වැදගත් වේ. එය රෝග සුවවීමට පමණක් නොව රෝග සුවවීම ඉක්මන් කරවීමට ද හේතු වේ. මෙසේ මහාකස්සප තෙරුන් වහන්සේගේ සිත සප්ත බොජ්ඣංග කෙරේ මෙහෙය වූ බුදුන් වහන්සේ ඉතා ඉක්මණින් සුවය ලැබීමට මග සැලසූ සේක. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යනුවෙන් ඕනෑම කරුණකදී සිත මුල්වන නිසා රෝගී අවස්ථාවක වුවද මනාව මෙහෙයවන ‘සිත’ රෝගාබාධ සමනයට හේතුවනවා පමණක් නොව එසේ නොවුවද, අසාධ්‍යව අවසන් ගමන් ගියද මනාව පිහිටවු සිත නිසා අගතියට නොගොස් සුගතියට යාමට වුවද එය ඉවහල් වේ. මෙසේම ‘පංච ඉමානි භික්ඛවේ ඨානාති ආනිණ්ණතං පංචවෙක්ඛි’ මාගේ ශරීරය දිරීමකොට ඇත. ‘ජරා ධම්මෝ මහී ජරා අතිනෝති’ පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන බව දනිමි. රෝගී ස්වභාවය කොට ඇත. මරණය ස්වභාවය කොට ඇත. පි‍්‍රයයන්ගෙන් වෙන්වන බව දනිමි. කර්මය මගේ ඥාතියා කොට ඇති බව දනිමින් මෙනෙහි කිරීමද එලොව මෙලොව දෙලොවටම වැඩදායක වනු ඇත.

Friday, September 16, 2011

Anithya Menehi karamu


මේ ලෝකේ යම් අර්බුද තියෙනවා නම්, ඒ සියලු අර්බුද වලට මුල අනිත්‍ය කියන දේ පිළිබද නොවැටහීම යි.
“අනිත්‍ය යි” කියන ධර්මය පිළිබඳ ව හොඳට මතකතියා ගන්න. මතක තියාගෙන මේ පිළිබඳව බලවත් සේ විශ්වාසය ඇතිකර ගෙන එය ජීවිතයට බද්ධ කරගන්න. ඒ විශ්වාසය, අපේ ජීවිතයට අප‍්‍රමාණ පිහිට පිණිස පවතිනවාම යි. මේ කරුණ ඔයගොල්ලන්ට කවදාහරි උපකාර වෙනවා. ඒ විශ්වාසය ඔබට උපකාරය පිණිස පවතිනවා ම යි. යමක් අනිත්‍යයි කියන දේ පිළිගත්තොත්, ඒ පිළිගැනීම අපිට සැප පිණිස පවතිනවාම යි, යමක් අනිත්‍යයි කියලා අපි තේරුම් ගන්නවා නම්, ඒ තෝරා බේරා ගැනීමෙන්, වැටහීමෙන්, අපට බලවත් උපකාර ලැබෙන්නේ, ජීවිතයට අර්බුදයක් එනකොට. අර්බුද ඇතිවෙන කොට ඒ වැටහීම නැත්තම්, අපිට ධර්මයෙන් පිහිටක් ලබාගන්න බැරිවෙනවා. ඒ අර්බුදයට අපි යටවෙනවා. ඒ නිසා ඒ ”අනිත්‍යය” යි කියන අදහස ”අනිත්‍යය යි කියන සත්‍යයය” ”අනිත්‍ය ධර්මය” අපි බලවත් සේ විශ්වාස කළ යුතුයි. ඒ තුළට පැමිණ වාසය කරන්න කැමති විය යුතු යි. ඒ තුළට පැමිණ වාසය කළ යුතු යි.
අපි හොඳින් සුව පහසුවෙන් ඉන්න කොට, අනිත්‍ය සංඥාව හොඳින් පුරුදු කරගන්න ඕනෑ. එසේ හොඳින් හිතට පුරුදු කරගැනීමෙන්, අපිට අපහසුවක්, අර්බුදයක් එනකොට, ඒ පුරුදු කරගත්ත ධර්මයට අනුව කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම්, ඒ ධර්මය අපි පුරුදු කරගෙන නොතිබුණොත් අපිට අර්බුදයක් ඇතිවෙනකොට, අර්බුදයක් හටගන්න කොට, අපිට පිහිට පිණිස මොකුත් නැතිව යනවා. අපි අර්බුදයෙන් යටවෙලා යනවා. මොන විදිහෙන්වත් ගැලවෙන්න බැරිව ඒකට ම කොටුවෙලා යනවා. එබදු දෙයක් තමයි මේ රාග, ද්වේශ, මෝහ නිසා සිතේ ඇතිවෙන්නේ. එකෙන් ගැලවෙන්න තියෙන එකම දේ ”අනිත්‍ය ධර්මය” කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න එක. ඒ පුරුදු කරගැනීමෙන් පමණ ම යි, සුවපහසුව ඇතිවන්නේ. ඒ නිසා ඒ ධර්මය හොඳට පුරුදු කරගන්න.
විශේෂයෙන් මතක තියාගන්න, මේ ලෝකේ යම් අර්බුද තියෙනවා නම්, ඒ සියලු අර්බුද වලට මුල අනිත්‍ය කියන දේ පිළිබද නොවැටහීම යි. අනිත්‍ය පිළිබඳ වැටහීමක් තිබුණත් අර්බුද ඇතිවෙන්න පුළුවන්. අර්බුද ඇතිවෙනවා, ඇතිනොවී තියෙන්නේ නෑ. අර්බුද නැත්තම් ඒක ලෝකයක් නෙමෙයිනේ. අර්බුද නැත්තම් ඒක ජීවිතයකුත් නෙමෙයිනෙ. නේ ද? ජීවිතය කියන්නේ අර්බුදයක් ම යි. මේ ජිවිතය තියෙන්නේ රාග , ද්වේෂ, මෝහ වලින් වෙළිලා. ඒ තුළ ම යි ඉන්නේ. එහෙනම් රාග, ද්වේෂ, මෝහ කියන්නේ අර්බුද සකස් කරන උල්පත. අර්බුද එන උල්පත. ඉතින් ඒ තුළනේ බහුතරයක් දෙනා ඉන්නේ. ඒ නිසා එතන අර්බුද හටගන්නවා. ඒනිසා අපිට ගැලවෙන්න තියෙන එකම දේ ”අනිත්‍ය යි” කියන වැටහීම අපි තුළට පමුණුවාගෙන වාසය කිරීම. එතකොට යම් කිසි අර්බුදයක් ඇතිවුනහම ඒක අනිත්‍යයි කියන අදහස අපි තුළට අවොත් අපි ඒකට යටවෙන්නෙ නෑ. අපේ හිතට අර්බුදයක්, ගැටළුවක්, පීඩාවක් ආවොත් එන්නෙ, එක්කෝ  රාගය නිසා, නැත්තම් ද්වේශය නිසා, එහෙමත් නැත්තම් මෝහය නිසා. අපි තේරුම්ගත්තොත් “මේක අනිත්‍යයි” කියලා අපි ඒකට යට වෙන්නේ නෑ. එතකොට අනිත්‍යයි කියලා තේරුම් ගත්තොත්, පිළිගත්තොත් ඒ සමඟම අපිට මොකක්ද උපදින්නේ? ඔන්න අර්බුදයක් හටගන්නවා. අර්බුදයක් හටගත්ත ම අපි තුළ හට ගන්නේ මොකක්ද? ඉවසීම නැතිකම. අර්බුදයක් හටගත්ත ම ඉවසීම නෑ. ඉවසීම නැතිවෙලා යනවා. ඇයි ඒකට අපි යටවෙලා ගිහිල්ලා. මේක අපේ ජිවිතයේ නැද්ද? තියෙනවා. තිබුණා. එහෙනම් අපි “අනිත්‍යයි” කියන වැටහීමට ආවොත්, ඒ තුළින් ම අපිට ඉවසීම උපදිනවා. ඉවසීම ඇතිවෙනවා. එතකොට අපි ඉවසිමෙන් ඉන්නවා.
ඒක මේ වගේ. අපි හිතමු අඳුරට බය කෙනෙක් ඉන්නවා. කලුවරට බය කෙනෙක් ඉන්නවා. තද කරුවලක් එනකොට එයාට මොකද හිතෙන්නේ? කරුවල වෙන්න වෙන්න මොකද හිතෙන්නේ? එයා බය වෙනවා. බයේ ගැහි ගැහී ඉන්නවා. එයාට හිතෙන්නේ, “එළිය වැටෙන්නෙ නැතිවෙයි” කියලා. “රාත‍්‍රිය දිගට ම තියෙයි” කියලා නේද? නමුත් මේ රාත‍්‍රිය ගෙවිලා යයි කියලා හිතෙන කෙනාට, මේ රාත්‍රිය ගෙවෙයි කියලා විශ්වාසය තියෙන කෙනාට, මොකද හිතන්නේ. එයා බිත්ති මුල්ලකට වෙලා ඇස් ඇරගෙන හරි ගුලිවෙලා හරි ඉන්නවා. ඇයි එයා දන්නවා. “මේ රාත‍්‍රිය ගෙවිලා යනවා. එළිවෙනවා” කියලා. නමුත් එයා රාත‍්‍රි‍්‍රයට බයයි. ඒ බය විඳ විඳ එයා බිත්ති මුල්ලේ හරි ගුලිවෙලා හරි ඇස් අරගෙන හරි ඉන්නවා. සිංදුවක් කියකියා හරි ඉන්නවා. ඇයි එයා දන්නවා, “මේ රැය ගෙවෙනවා” කියලා. එහෙම නොදන්න කෙනා, අප‍්‍රමාණ දුක් විදිනවා. එයා හිතනවා “ඒක ගෙවෙන්නෙ නෑ” කියලා. එසේ හිතුවත් ගෙවෙනවා නේ ද? එහෙම හිතුවත් රැය ගෙවිලා යනවා. දැන් එයා හිතන්නේ ගෙවෙන් නෑ කියලා. නමුත් රැය ගෙවිලා ගිහිල්ලා. එයාට එළිවුණත් වැඩක් නෑ. ඇයි දුක් විඳිනවා නේද? මම කියන එක වැටහුණා ද? එයා කර්කෂ විදිහට දුක් විඳලා. හැබැයි එළිවෙලා. එළිවුනත් ඒකෙ සැප නෑ. එයා දුක් විඳිනවා.
ඒ නිසා තේරුම්ගන්න, අඳුරට නිත්‍ය බවක් නෑ. අන්ධකාරයට නිත්‍ය බවක් නෑ. ජිවිතයට අඳුර උපදින්නේ රාග, ද්වේෂ, මෝහ තුළින්. මේ අකුසල් නිසා නොයෙකුත් අර්බුද ඇතිවෙනවා. ඒ අර්බුද වලට යට වෙන්ට එපා. යටවෙන්නේ ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය බලවත්ව නැතිවුනොත්. ඒ නිසා හොඳට ම තේරුම්ගන්න, පිළිගන්න, “අනිත්‍යයි ” කියන ධර්මය. එතකොට අර්බුද ගෙවිලා යනවා. ඉතින් යම් කලක අනිත්‍ය කියන දේ වැටහෙන්න වැටහෙන්න අපේ ජිවිතයේ අර්බුද තුනීවෙලා යන්න පටන් ගන්නවා. මේ ලෝකයේ කවුරුත් අනිත්‍ය කියන දේ වටහා ගත්තොත් අර්බුද කොහෙත් ම නෑ. ඉතින් අපේ ජිවිතයේ අනිත්‍ය හොඳින් තේරෙන්න තේරෙන්න වැටහෙන්න වැටහෙන්න අර්බුද ගෙවිලා ය යි. ඒ නිසා අපි  “අනිත්‍ය” කියන ධර්මය කෙරෙහි බලවත් විශ්වාසයකට එන්න ඕනෑ. ඒ විශ්වාසයට ආවා කියලා, පිළිගත්තා කියලා එක පාරට ම අකුසල් ගෙවෙන්නේ නෑ. අනිත්‍ය සංඥාව අපේ හිතේ පිහිටියා කියමුකො. පිහිටියා කියලා එක පාරට රාග ද්වේෂ මෝහ ගෙවෙයි ද? ගෙවෙන්නේ නෑ. ඇයි අනිත්‍ය සංඥාව තුළ පිහිටියත් අනිත්‍ය සංඥාව පුරුදු කරමින් හිටියත්, අපිට යම් වෙලාවක අර්බුද එන්න පුළුවන්. සිහිය පිටගිය වෙලාවට අපිට යම් යම් අර්බුද එන්න පුළුවන්. රාගය ඉස්මතුවෙන්න පුළුවන්. ද්වේෂය ඉස්මතුවෙන්න පුළුවන්. මෝහය ඉස්මතුවෙන්න පුළුවන්. අකුසලයෙන් හිත වැහිලා පීඩා එන්න පුළුවන්. ඉතින් ආන්න ඒ වෙලාවල දී හොඳ සිහිය උපද්ද ගත්තොත්, “මේක අනිත්‍යයි නෙ අපි මේකට අහුවෙන්න හොඳ නෑ” කියල කල්පනාව උපදවා ගත්තොත් අපි දිනනවා. අපිට සුවපහසුව ඇතිවෙනවා. එහෙම නැත්තම් අපි කර්කෂ දුක් විදිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මතක තියාගෙන “අනිත්‍යයි ” කියන අදහස හොදින් උපදවා ගන්න.
අනිත්‍යයි කියන අදහස හොඳින්, බලවත්ව, තියාගත්තොත් අපිට සැප පහසුව පිණිස ඒක උපකාර වෙනවා ම යි. ඉතින් ඒ විදියට තේරුම් අරගන්න. ඔයගොල්ලන්ට ගැටළු එන්න පුළුවන්. එතකොට සිහියට ගන්න “මේක අනිත්‍යයි, මේක නැතිවෙයි, අපි මේකට කොටු වෙන්න හොද නෑ”, කියන කාරණාව. එතකොට යම් කලකදි අපිට ඒ කල්පනාව පහසුව පිණිස පවතිනවා. එහෙම නැත්නම් අර්බුදය ගෙවිලා යනකොට අපි ගොඩාක් පැති වලින් දුර්වල වෙලා. අන්ධකාරයට බය කෙනා අන්ධකාරයෙ ඉන්නකොට එහෙට මෙහෙට දඟලනවා, කෑ කොස්සම් ගහනවා, අන්තිමට එයා නැති ප‍්‍රශ්ණයක් හදා ගෙන, නැති අබාධ හදාගෙන.
ජීවිතයේ ප‍්‍රශ්ණ ඇතිවෙනවා, අර්බුද ඇති වෙනවා. ඒ වගේ වෙලාවට “මේක අනිත්‍යයි ” කියන වැටහීම තිබුන කෙනා පාඩුවේ ඉන්නවා, ඉවසගෙන ඉන්නවා. කලක් යනකොට ඒවා ගෙවිලා යනවා. ඒ නිසා අනිත්‍යය කියන කාරණාව හොඳට තේරුම්ගන්න. ඒක පිළිගෙන වාසයකරන්න. ඒක තේරුම්ගන්න කෙනාට සිහිය පිටගියත් තේරුම්කරලා දෙන්න පුළුවන්. “ඕක වෙනස් වෙනවා කලබල කරගන්න එපා” කිව්වහ ම එයා ඒක පිළිගෙන ඉන්නවා. සුවපත් බවට පත්වෙනවා.
දැන් බලන්න අපේ ජිවිතයේ පුංචි කාලේ, අපිට අර්බුද ඇවිල්ලා නැද්ද? හොඳට සිහිකරන්න පුංචි කාලේ. අපිට බලවත් පීඩා ඇවිල්ලා නැද්ද? දැන් ඒවා කෝ? අතීතය බැලුවොත් එහෙම, කොච්චර අපි අඩලා, වැළපිලා ඇත් ද? කොච්චර බය ඉපදිලා ඇත්ද? මරණ බය ආපු වෙලාවල් නැද්ද? ඒවා ගෙවිලා ගිහින් නේද? ඉතින් ඒ වගේ තමා දැන් යම් අපහසුවක් තියෙනව නම්, ඒකත් ගෙවෙනවා. අනාගතයේ යම් අපහසුවක් ආවොත් ඒකත් ගෙවෙනවා. ඒ නිසා අනිත්‍ය කියන දේ තේරුම්ගන්න. එසේ තේරුම්ගන්න කෙනා ඉවසගෙන ඉන්නවා. ඉවසීමේ ගුණය එනවා. ඊට පස්සේ අපි තව දුරටත් ධර්මයේ පිහිටියොත් ඒ ආපු අර්බුදය ධර්මය තුළින් ම විසඳගන්න එයාට, අවස්ථාවක් එනවා. අර්බුදයක් ආවොත් මුලින් ම අපි හිතන්න ඕනෑ “මේක අනිත්‍යයි, මේක වෙනස්වෙලා යනවා” කියලා. එතකොට එයා කළබල වෙන්න නෑ. ඊට පස්සේ බලන්න, අපි පුරුදු කරගත්තා වූ යම් ධර්මයක් මඟින් ඒක විසඳගන්න පුළුවන්ද කියලා? යම් බණ භාවනාවක් පුරුදුකරල තිබ්බ නම් ඒ බණ භාවනාව කිරිමෙන් , එයාගේ ප‍්‍රශ්ණ දුරුවෙලා යනවා. එහෙම නැත්තම්, ඉගෙනගත්ත ධර්මයක් තියනවා නම්, ඒ ධර්මය සිහිකරන්න. එතකොට ගෙවිලා යනවා. එහෙම නැත්තම්, කරන කටයුත්තක් තියෙනවා නම් ඒ කටයුත්ත වෙනස් කරලා, වෙන කටයුත්තක් කරන්න. එතකොටත් ඒ ප‍්‍රශ්නය අමතක වෙලා යනවා. එහෙම නැත්තම් ඒක අමතක කරලා දාන්න බලන්න. එහෙමත් නැත්තම්, ඒක සුදුසු කෙනෙක් එක්ක කතාකරන්න. එතකොට ගෙවිලා යනවා. ඒක නැතිවෙලා යනවා.
මේ ලෝකේ නිත්‍ය දෙයක් නෑනේ. නිවන විතර යි වෙනස් වෙලා යන්නේ නැත්තේ. අනිත් ඔක්කොම වෙනස් වෙලා යනවා. එහෙම තැනක යම් චිත්ත පීඩා ආදී දේ ආවට කළබල වෙන්න එපා. කළබල නොවී අනිත්‍යයි කියන වැටහීම තියාගෙන ඉන්න. ඊළඟට හුරු කරගත්තා වු ධර්මයන් පුරුදු කරගන්න. මම විශේෂයෙන් අර බණ භාවනා ගැන කිව්වෙත්, බණ භාවනා ක‍්‍රමානුකුලව දවස පුරා කරන කෙනාට මේ චිත්ත පිඩා නැති කරගන්න පහසුවක් වෙයි. මොකද බණ භාවනා හුරුවෙනවා කියන්නේ, එතන රාග, ද්වේශ, මෝහ වැඩෙන තැනක් නෙමෙයි. ගෙවෙන තැනක්. බණ භාවනා නොකරන තැන රාග , ද්වේෂ, මෝහ වැඩෙනවා. එතන සතිපට්ඨානයෙන් ඈත.
එතකොට ඒක හරියට ගින්න වගේ. ගින්න පත්තුවෙවී තියෙනවා. අපි යම් තැනකින් ආවරණය කළොත්…?  ඔන්න දැන් ලාම්පු දැල්ලක් තියෙනවා. අපි ඒක යම් දේකින් ආවරණය කරනවා. ටික වෙලාවක් යනකොට ගින්න නිවිලා යනවා නේ ද? අන්න ඒ වගේ, හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ වැඩෙනවා අපි බණ භාවනා නොකරන කොට. වැඩිලා වැඩිලා අන්තිමට වද වේදනා දෙනවා. නමුත් අපි සතිපට්ඨානයට එනවානම්, බහුල වශයෙන් සතිපට්ඨානය තුළ වාසය කරනවානම්, රාග, ද්වේෂ, මෝහ තුනීවෙන්න ගන්නවා. තුනී වෙලා වෙලා වෙලා සුවපහසුව ඇතිවෙනවා. තවදුරටත් බහුල වශයෙන් සතිපට්ඨානය වඩන්න වඩන්න ඒ අකුසල් ගෙවිලා ම යනවා.
එනිසා අනිත්‍ය කියන විශ්වාසයත් එක්ක බණ භාවනා ක‍්‍රමානුකුලව දවස පුරාම කරන්න හුරු කරගන්න. එතකොට අපිට මේ ධර්මයෙන් මහත් වු පිහිටක් පිළිසරණක් ලබා ගැනිමේ ඉඩකඩ තියෙනවා. තාම තියෙනවා. බලවත් විශ්වාසයෙන් තමා අපි ඔයගොල්ලන්ට මෙහෙම කියන්නේ. ඔයගොල්ලො ඒ ලාභය ලබාගනී කියන හැඟීම අපිට තියෙනවා. අපි කරන්න පුළුවන් හැම උපකාරයක් ම කරනවා. ඒ නිසා අපි මේ කියන කාරණා හොඳින් අරගෙන, දරාගෙන තමන්ගේ ජිවිතයට සැප සළසා ගනිත්වා! කියලා, අපි ආශිර්වාද කරනවා.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

Begin for Meditation

භාවනාවට ආරම්භයක්



ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි… අපේ ජීවිතය ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත්කර ගන්ට අපි කල්පනා කරන්ට ඕන. ජීවිතය ප‍්‍රයෝජනවත් දෙයක් බවට පත්කර ගන්න අපිට බැරි වුණොත්, අපි මහා ලාභයක් අත්හැර ගත් අය බවට පත්වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, “නිසි කලට කාරණා හතරක් පුරුදු කළොත්, එයාට පුළුවන්කමක් තියෙනවා අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කරගන්න” කියල. ඒ කාරණා හතර තමයි,
  • නිසි කලට ධර්ම ශ‍්‍රවණය කිරීම.
  • නිසි කලට ධර්ම සාකච්ඡා පැවැත් වීම.
  • නිසි කලට සමථය පුරුදු කර ගැනීම.
  • නිසි කලට විදර්ශනා වැඞීම.
 මේ කියන කාරණා හතර යම් කෙනෙක් නිසි කලට පුරුදුකරනව නම්, එයාට අවස්ථාවක් උදා වෙනවා, අරහත්වය දක්වා ම ජීවිතය දියුණුකර ගන්න. මේ ප‍්‍රකාශය අපි උදෙසා වලංගු වෙයි ද නැද්ද..? ඒ ගැන විශ්වාසයක් ඔබට තිබෙනවා ද නැද්ද…? අපි ඒ දහම කෙරෙහි විශ්වාසය තැබීම හොඳයි ද නැද්ද…?
එතකොට යම් කෙනෙක් මේ දහම කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා කියල කියන්නේ, “මට තමයි පුළුවන්..” කියල අදහසක් ඇතිකර ගන්න එක ද?.. නෑ.. “බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම්, අපි ඒක හුරු කරමු, ඒ කෙරෙහි විශ්වාසයක් ඇති කරගමු” කියන එක යි කියන්නේ. එතකොට අපි ඒ බුදු රජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් තමයි යමක් කරන්ට කල්පනා කරන්නේ. තමා කෙරෙහි විශ්වාසයකින් නෙමේ. අන්න එයා නිතැතින් ම තමා කෙරෙහි නියම තක්සේරුවට, යථා ස්වාභාවයට එනවා. එයා දන්නවා, “මම මොකක් ද කළ යුත්තේ..” කියන කාරණාව.
සාමාන්‍යයෙන් අලූතින් භාවනා කරන්න පෙළඹෙන බොහෝ දෙනෙක් භාවනා කිරීමට විතර යි කැමති වෙන්නේ. පොත පත බලන්න කැමති නෑ. ධර්ම සාකච්ඡුා කරන්න, ධර්ම ශ‍්‍රවණය කරන්න කැමති නෑ. නමුත් මතකතියා ගන්න, මේ කරණා හතර ම අපි පුරුදු කළ යුතු යි, පුහුණු කළ යුතු යි. හැම වෙලාවෙ ම ඒවා පුහුණු කරන්න ඕන. පුහුණු කරමින් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. මොකද ඒවා නිවන් මගට අනිවාර්යයෙන් ම වුවමනා යි.
එතකොට යම් කෙනෙක් භාවනා කරන්න කැමති නම්, එයා ගොඩක් වෙලාවට අහන්නේ “මොකක් ද අපි කරන්නේ..? කොහොම ද කරන්නේ..?” කියල යි. අන්න ඒ වගේ වෙලාවට අපි මොකක් ද එයාට කියලා දෙන්න ඕනෙ…? එයා ව අපි කොහොම ද යොමු කරන්න ඕන?
භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නා, අපිට කරණා හතරක් පුරුදු කරන්න කියලා. ධර්ම ශ‍්‍ර‍්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ, විදර්ශනා. මේ කරණා හතර නිසි කලට කරන කෙනා තමයි අරහත්වය දක්වා සිත දියුණුකර ගන්නේ. එහෙනම් අපි කෙනෙක් ව මේ කරුණු හතරට ම යොමුකළ යුතු යි. ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡුා කියන මේ දෙකෙන් ම කෙරෙන්නේ මොකක් ද…? හොඳ දහම් දැනුමක් හදා ගන්න උපකාර වෙන එක යි. සමථ විදර්ශනා දෙකෙන් කෙරෙන්නේ, භාවනාව දියුණු කරන එක. එහෙනම් බලන්න අපි කෙටියෙන් ගත්තොත් දහම් දැනුම ත් ඕන, භාවනා කරන්න ත් ඕනෑ. ඒ දෙක ම ඕන නේ ද…? දහම් දැනුම හදා ගන්නත් ඕන. භාවනා කරන්න ත් ඕන.
නමුත් බලන්න ගොඩක් අය ගේ අදහසක් තියෙනවා, ”ධර්මය ඉගෙන ගෙන ඉවර වෙලා භාවනා කරනවා” කියල. සමහර අය ගේ අදහසක් තියෙනවා, ”භාවනා කරල ඉවර වෙලා ධර්මය ඉගෙන ගන්නවා” කියල. එතකොට ඒක හරි ද.. ? නෑ.. ඒක නිවැරදි නෑ. අන්න ඒවා අපි තෝරා ගන්න ඕන. එහෙනම් මේ දෙක කොහොම ද කරන්නේ..? නිසි කලට. නිසි කලට කරන්න ඕන. දහම් දැනුම ඇතිකර ගැනීම ත් භාවනා කිරීම ත් කියන දෙක ම සමබර ව කරගෙන යන්න ඕන.
ඒකට හේතුව තමයි, ‘භාවනාව කියන්නේ මොකක් ද… භාවනා කරන්නේ කෙහොම ද…’ කියන කාරණා ඔක්කොම තියෙන්නේ ධර්මය තුළ. එහෙනම් දහම් දැනුමෙන් තොරව භාවනාවක් ගැන කථා කිරීමක් නෑ. දහම් දැනුමෙන් තොර භාවනාවෙන් අර්ථයක් ඇති වන්නේ නෑ. ඒ වගේ ම තමයි අපිට යම් දහම් දනුමක් තියෙනවා නම්, අන්න ඒ දහම් දැනුම අපිට ප‍්‍රත්‍යක්ෂ වෙන්නේ, අපිට ඒක අපේ ජීවිතයට පිහිට පිණිස උපකාර කර ගන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. එහෙම නැත්නම් ඒ දහම් දැනුම අපිට උපකාර ලෙස පවතින්නේ නෑ. ඒක හරියට අහාරයක් හදලා මේසේ උඩ තියාගෙන හිටියා වගේ. එතකොට අපිට ආහාර තියෙනවා. අපි ආහාර තියෙන අය. නමුත් ඒක අපේ ජීවිතයට බද්ධ වෙන්නේ, අනුභව කිිරීමෙන්. ඒ වගේ ම තමයි බුදු රජාණන් වහන්සේ ගේ ඒ ධර්මය අපේ ජීවිතයට බද්ධ වෙන්නේ, ඒ ධර්මයෙන් අපේ ජීවිතය දියුණු වෙලා යන්නේ, භාවනා කිරීම තුළිනු යි. ඒ නිසා භාවනා කරන්න ඕන.
හැබැයි දහම් දැනුම නැතිව භාවනා කළො ත්….. ඒක හරියට අපිට ආහාර උයලා නෑ. නමුත් අනුභව කරනවා වගේ.. එතකොට මොනව ද අනුභව කරන්න වෙන්නෙ..? හුළං තමයි එතකොට අනුභව කරන්න වෙන්නේ… නේ ද…? අන්න ඒ වගේ, ‘ආහාර තියෙනවා, අනුභව නොකර ඉන්නවා’ ඒක ත් වැඩක් නෑ. අර්ථය පිණිස පවතින්නේ නෑ. ‘ආහාර නෑ, නිකන් අනුභව කරනවා, ඒක ත් අර්ථයක් පිණිස පවතින්නේ නෑ. එහෙනම් අපි දහම් දැනුම ත් හදා ගන්න ඕන. භාවනාව දියුණුකර ගන්ටත් ඕන. ඒ දෙක ම සමබර ව කරගෙන යන දෙකක්.
යම් කෙනෙකුට දහම් දැනුමක් තියෙනවා, නමුත් භාවනා කරන්නේ නෑ. යම් කලක දී එයා ගේ හිත රැුක ගන්න එයාට බැරි වෙනවා. ඒක හරියට වහලයක් නැති ගෙයක් වගේ. බිත්ති ටික තියෙනවා, ලස්සන යි. නමුත් වහලයක් නෑ. ඒ වගේ ම යම් කෙනෙක් ඉන්නවා භාවනා කරනවා. දහම් දැනුම නෑ. එයාට වහලේ තියෙනවා, බිත්ති ටික නෑ. යම් කලක් යනකම් ඉතින් හෙවන තියෙයි ටිකක්. නමුත් පස්සේ කලක දී එතන සත්තු ලගින්න පටන් ගන්නවා. ඊට පස්සේ එතන හොඳ පරිසරයක් හැදෙන්නේ නෑ. ඒ නිසා ඒ බිත්ති ත් ඕන, වහල ත් ඕන. එතකොට තමයි හොඳ නිවහනක් එතන හැදෙන්නේ. ඒ වගේ අපි මේ දහම් දැනුම ඇති කරගැනීම යි භාවනාව යිි දෙක ම සමබරව කර ගෙන යන්න ඕන. ඒක අපි හොඳින් තෝරා බේරා ගන්න ඕනෑ. ඒ විදියට මේ කාරණා අපි හොඳින් තෝරා බේරා ගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා, අපේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අරහත්වය දක්වා ම දියුණු කරගන්නට.
එතකොට අපි භාවනාව ගැන කථා කළො ත්, ඒක ත් අපි මුල ඉඳලා ටික ටික හුරු කරගන්න ඕන. ඒක කළබලයට කරන්න බෑ. මේ කිසි දෙයක් කළබලේට කරන්නෙ නෑ. ටික ටික කරගන්ට ඕන. අපි භාවනාව ඉස්සෙල්ලා හුරුකර ගන්ට ඕන. හුරු කරගෙන තමයි භවනා කරන්නෙ. ඒ නිසා විනාඩි පහක් හරි කමක් නෑ ටිකක් කරන්න. ටික ටික කරලා පුරුදු වෙන්න. පුරුදු වෙන්න පුරුදු වෙන්න කාලය වැඩි කරගන්න අපිට පුළුවන්. නමුත් බොහෝ පිරිසකට මේ කාරණාව තේරෙන්නෙ නෑ. ඒ නිසා ම ”භාවනාව පැය භාගයක් වගේ කාලයක් තියෙනවා, ඒක කොහොම ද විනාඩි පහකට හදා ගන්නේ..” කියලා අහන අය ඉන්නවා. විනාඩි පහක් කියලා කියන්නේ හරියට ම විනාඩි පහක් කියන එක නෙමෙයි. ටිකක් කරලා හුරු වෙන්න කියන එක යි.
මම මේ වගේ් කාරණයක් කියන්නම්. දැන් ඔබ දැකලා තියෙනව ද, සංගීත භාණ්ඩ වලින්, ගිටාර් වලින් එහෙම සෙල්ලම් කරන අය…? ඒ ගොල්ලෝ එක පාරට ම ඇවිදින් ඒව ප්ලේ කරනව ද..? මොකද කරන්නේ ඒ අය..? ටියුන් කරනව කියල එකක් කරනව නේ ද?. බෙර ගහන අය එහෙම දැකලා තියෙනව නේ ද..? ඒ ගොල්ලෝ ආපු ගමන් එක පාරට ගහගෙන ගහගෙන යනව ද…? එහෙම කරන අය ත් ඉන්නවා දැකලා තියෙනව ද..? එතකොට මොකක් ද වෙන්නේ…? එක්කෝ ඒ උපකරණය කැඩිලා බිඳිලා යනවා. එහෙම නැත්නම් ඒක ශ‍්‍රවණය කරන පිරිස ඒ හ`ඩට ප‍්‍රිය කරන්නේ නෑ. ඒකෙන් මිහිරක් එන්නේ නෑ. ඒ ක‍්‍රමයට මිහිරක් ඇතිකර ගන්න බෑ. ඒ නිසා ඒ ශිල්පය දන්න කෙනා මොකද කරන්නේ…? කොච්චර දැනගෙන හිටිය ත් එයා පොඞ්ඩක් ඒක ටියුන් කරලා හදා ගන්නවා. ඒ වගේ අපි භාවනා ඉගෙනගත්තා කියලා බෑ. අපි කරන්න පුරුදු වෙන්න ඕන. පුරුදු වෙලා තමයි ඒක දිගට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ.
දැන් මේ භාවනා කරනවා කියලා අපි මේ මොකක් ද කරන්නේ…? භාවනා කරනවා කියලා කරන්නේ සිහිය දියුණු කිිරීම යි. වෙන මොකුත් නෙවේ. සිහිය දියුණුකරන්න නම් අපි ළඟ මොකක් ද තියෙන්න ඕන..? සිහිය දියුණු කරන්න නම්, තියෙන්න ඕන දේ තමයි සිහිය.. සිහියෙන් තමයි සිහිය දියුණු කරන්නේ.. වෙන දේකින් නෙමේ. එහෙමනම් භාවනාව ටික ටික කරලා හුරුවෙන්න කියලා කියන්නේ සිහිය උපද්දවා ගැනීම පිණිස යි. ඒක හරියට බීජයක් පැලකරනවා වගේ. බීජයක් හදපුවා ම ඒකෙන් එක පාරට මහා වෘක්ෂයක් හැදෙනවා ද ? නෑ.. අපි ඒක ඉතා ම ප‍්‍රවේශමෙන්, ළමයෙක් වගේ ආදර කරුණාවෙන් හදා ගන්න ඕන. අන්න ඒ වගේ එකක් තමයි සිහිය කියන්නේ. අපි මුලින් ම සිහිය උපදවා ගන්න ඕන. සිහිය උපදවාගෙන, එසේ උපදවා ගත්තා වූ සිහිය දියුණු කරගන්න ඕන. මුලින් ම සිහිය උපදවා ගැනීම පිණිස ත් අපි උපකාර කරගන්නේ භාවනාව ම යි. ඒ උපදවා ගත්තා වූ යම් සිහියක් තියෙනවා නම්, ඒ සිහිය දියුණු කරගැනීම පිණිස අපි කරන්නෙ ත් භාවනාව ම යි. එහෙනම් ඒ සඳහා දහම් දැනුම ඕන. සිහිය උපදවා ගන්නත්, සිහිය දියුණු කරගන්නත් දෙකට ම දහම් දැනුම ඕන. දහම් දැනුම නැත්තම් සිහිය දියණු කරගන්න අපිට බෑ. අපි දන්නෙ නෑ මොකක් ද කරන්න ඕනැ කියල.
ඒ නිවන් මග කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ සිහිය දියුණු කරන පිළිවෙල කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ දේවල් ගැන අපි දන්නෙ නෑ.. ඒ නිසා තමයි ඒ ධර්මය අපිට උවමනා කරන්නෙ. ඒ ධර්මය යෙන් තමයි කියල දෙන්නේ ”දැන් මෙහෙම කරන්න, දැන් මෙහෙම කරන්න” කියලා. එහෙනම් ඒ සිහිය දියුණු කිරීම ගැන කියා දුන්න ධර්මය අපිට වුවමන යි. හැබැයි ඒ ධර්මය ඒ ඒ තැන දි දියුණු කළ යුතු අකාරය, ඒ ඒ තැන දී කළ යුතු දේ වෙනස්. එක ම දේ නෙමෙයි හැම වෙලාවෙ ම කරන්න තියෙන්නේ. අන්න ඒක යි ‘නිසි කලට ධර්ම ශ‍්‍රවණය, නිසි කලට ධර්ම සාකච්ඡුා’ කියලා කියන්නේ. දැන් සීලය පුරුදු කරන කාලේ සීලයට ආදාළ ධර්මය අපි කතා කරන්න ඕන, ඉගෙන ගන්න ඕන. සමාධිය පුරුදු කරන කාලේ සාමාධියට අදාළ ධර්මය අපි ඉගෙන ගන්න ඕන, කතා කරන්න ඕන. ප‍්‍රඥාව පුරුදු කරන කොට ප‍්‍රඥාවට අදාළ ධර්මය අපි පුරුදු කරන්න ඕන, ඉගෙන ගන්න ඕන.
සමාධිය වැඞීමේ දී ඒ සඳහා වුවමනා කරන, ඒ ඒ තැන් වලට අදාළ ධර්ම කරණා අපි ඉගෙන ගන්න ඕනැ, කතා කරන්න ඕනැ. ඒක යි ‘නිසි කලට ධර්ම සාකච්ඡුා, නිසි කලට ධර්ම ශ‍්‍රවණය’ කියලා කියන්නේ. දැන් අපි ගොඩාක් දෙනා කරන්නේ, ආරම්භයේ දී ම බලනවා සාමාධිය ගැන ඉගෙන ගන්න. ”අරක කොහොම ද…? මේක කොහොම ද…? අහවල් සාමාධිය කෙහොම ද ඇතිකර ගන්නේ..?” කියලා අහනවා. එයාට කවදාවත් පිරිසිදු දැනුමක්, වැටහීමක් කරා යන්න බෑ. ඇයි ඒක අවිෂය යි. විෂය වෙන්නේ නෑ එයාට. දැන් මගෙන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා, ”නිරෝධ සමාපත්තියට යන්නේ කොහොම ද..? ඒකට ගියා ම මොකද වෙන්නේ…” වගේ කාරණා.
හොඳ දහම් දැනුමක් නැති කමේ විපාක හැටියට තමයි මේ ප‍්‍රශ්න ඇති වෙන්නේ. ශ‍්‍රද්ධාව තිබුණ නම්, ‘නිසි කලට ධර්ම ශ‍්‍රවණය, ධර්ම සාකච්ඡුා’ කියන මේවා දන්නවා නම්, මේ පිළිබඳ වැටහීමක් තියෙනවා නම්, අපි දන්නවා අපි ඉන්නේ කොතැන ද කියලා. ඉතින් මම කිව්වා, ”හෝඩියේ ඉන්න ළමයෙක් පයිතගරස් ප‍්‍රමේයය ඉගෙනගන්න ගියා ම හරි යයි ද…?” කියල. ඉස්කොලේ නමය දහයපන්තිවල ගණන් වලට එහෙම එකක් උගන්වනවා නේ ද..? ඉතින් අර දෙකේ තුනේ ළමයෙකුට ඒක කියා දෙන්න යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. ඒ නිසා අපි දැන ගන්න ඕන, ‘අපි ඉන්නේ කොහේ ද, මොකක් ද කරන්න ඕන..?’ කියන කාරණාව. ඉතින් ඒ සඳහා තමයි අපි කළ්‍යාණ මිත‍්‍රයන් ගේ අවවාදයට කැමතිවිය යුත්තේ…
භාවනාව සාර්ථක කරගන්ට නම් අපිට කරණා දෙකක් තියෙන්ට ඕනැ කරනවා. පළමු වැනි එක තමයි, අපිට සිහි බුද්ධිය තියෙන්ට ඕනැ, නුවණ තියෙන්ට ඕනැ. ඒ වගේ ම කීකරුකම තියෙන්න ඕන, කියන දේ අහන්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට මේ දෙක ම හෝ දෙකෙන් එකක් හෝ තියෙන්න ඕන. ඔය දෙක ම හෝ දෙකෙන් එකක් හෝ තිබ්බොත් අපිට දිනන්න පුළුවන්. ඒ දෙක ම නැති තැන අපිට අංශුවක වත් යහපත් ප‍්‍රතිඵලයක් ඇතිකර ගන්න බෑ. ගොඩකට ඔය දෙක ම නෑ. තමාට සිහි බුද්ධිය ත් නෑ. කියන දේ අහන්න කැමති ත් නෑ. ඒ සඳහා සිත් පිහිටන්නෙ ත් නෑ.
‘මම පැයක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා’ මේ විදියට හිතලා මුලින් පටන් ගන්න කෙනා, පැය භාගයක් නෙමේ පැය පහක් හරි ඉඳියි. හැබැයි එක්කෝ නින්දට ගිහිල්ලා. නැත්නම් හිත වෙන කොහේ හරි ගිහිල්ලා. ඉතින් එහෙම පැයක් නෙමේ වරුවක් හිටියත් වැඩක් නෑ. විනාඩි පහක් හරි කමක් නෑ සිහිය උපදවාගෙන වාසය කළො ත්, ඒ තමා ධර්මය දියුණු කරගන්න පුළුවන් අවස්ථාව.
සිහි බුද්ධිය සහ කීකරුකම තිබ්බ නම් අපිට ශ‍්‍රද්ධාව ඇතිකර ගන්න පුළුවන්. ශ‍්‍රද්ධාව තුළ වාසය කරන කෙනාට භාග්‍යයවතුන් වහන්සේ වදාළ මේ ධර්මය අනුගමනය කරන්න අවකාශයක් ලැබෙනවා. ඒ නිසා, නිසි කලට ඒ ඒ දේ කරන්න කැමති හිත් හදාගන්න ඕන. ඒක ශ‍්‍රද්ධාව තුළ පිහිටා කළ යුතු දෙයක්. ඒ නිසා භාවනා කරන්න පෙළඹෙන අය අරම්භයේ දී කළබල කරගන්න එපා. ඒ කියන්නේ අවසානයේ දී කළබල කරගන්න කියල නෙමෙයි. ආරම්භයේ දී කළබල කරගන්නෙ නැති කෙනා, අවසානයේ දී කළබල කරගන්නෙත් නෑ. ආරම්භයේ දී කළබල කරගන්න කෙනා මොකද කරන්නේ.?. එයා කළබලයෙන් ම ගමන අවසන් කරගන්නවා. කළබලයෙන් ම නිවන් මගේ යන එක අවසාන කරගන්නවා. ඒ නිසා කළබල වෙන්න එපා. අපි යම් භාවනාවක් කරනවා නම් ඒක ටික ටික පුරුදු වෙන්න. පොඩි වෙලාවක් අරගෙන සිහිය දියුණුකර ගන්න. භාවනාව තුළ කරන්න තියෙන දේ සිහියෙන් කරන්න පුරුදු වෙන්න. ඒක විනාඩියක් දෙකක් හරි කමක් නෑ. අපි හිතමු මෛත‍්‍රී භාවනාව කියලා. ඒ භාවනා මනසිකාරය, එහෙමත් නැත්නම් භාවනා කිරීම සඳහා තියෙන ඒ වචන ටික මෙනෙහි කරමින් සිහිය පවත්වා ගන්න බලන්න. සිහියෙන් ඉන්න බලන්න. ඒක යි අපි ඉස්සෙල්ලා ම කළ යුත්තේ. එහෙම ටික ටික කරන කොට අපිට තේරෙනවා ‘මට දැන් මේක සිහියෙන් කරන්න පුළුවන්’ කියල.
හිතේ ස්වභාවය තමයි හිත එහේ මෙහේ යනවා. එක්කෝ නිදිමතට යනවා. නීවරණ වලට යටවෙලා යනව. නීවරණ වලට හිත යට නො වී භාවනා මනසිකාරය කරමින් ඉන්න පුළුවන් විදියට හිත හදා ගන්න ඕන. අපි පැය ගණනක් එක දිගට කරන්න ගියොත් අපිට ඒක කරගන්න බැරිව යනවා. ඇයි ඒ…? සිහිය දියුණු නෑ. දියුණු නැති සිහියකින් වැඩ කරන්න යනවා. ‘අපිට ඕන මේ කෙලෙස් ඉක්මණින් ගෙවල දාන්න’ කියල, මුලින් ම පැය ගණන් කරනව. නමුත් සිහිය දියුණු නෑ. නො දියුණු සිහියෙන් වැඩ කරන්න යනවා. එතකොට සිහිය බිඳිල යනවා. අන්තිමට නොයෙකුත් අබාධ හටගන්න ඉඩ තියෙනවා.
ඒ නිසා තමයි අපි සිහිය දියුණු කරන්න ඕනෑ. අපි වනාන්තරය කපන්න කලින් ආයුධය හොඳට හදලා පන්නරය තියාගන්න ඕනෑ. ඉතින් කෙලෙස් යුද්ධය දිනන්න තියන්නේ භාවනාව තුළින්. ඉතින් ඒ කෙලෙස් වලින් ජය ගන්න නම්, ඒ අතිශයින් අමාරු දේ කරන්න නම්, අපි සිහිය හොඳට දියුණු කර ගන්න ඕන. ඒ සිහිය දියුණු වෙන්නෙ භාවනාව තුළ. සිහිය දියුණු වෙන්න නම් සිහිය උපදවා ගන්න ඕනෑ. ඒ උපදවා ගත්තු සිහිය දියුණු කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා.
ඒ නිසා අපි භාවනාව පුරුදුවෙන කොට මුල ඉඳල ම ටික ටික කරමින් සිහිය දියණුු කරගන්න බලන්න. විනාඩි පහක් හරි කමක් නෑ. පොඞ්ඩ පොඞ්ඩ කර කර සිහියෙන් ඉන්න. එතකොට සිහිය පිහිටනවා තමන්ට තේරෙයි. හිත නිදිමතට වැටෙන්නේ නෑ, එහේ මෙහේ යන්නේ නෑ, තමන්ට භාවනා මනසිකාරය කරගන්න පුළුවන් බවක් තේරෙයි. අන්න එතකොට ටික ටික කාලය වැඩි කරගන්න.
ඉතින් සමහර කෙනෙකුට සතියකින් මේක කරන්න පුළුවන් වෙයි. සමහර කෙනෙකුට සති දෙකකින් පුළුවන් වෙයි. සමහර කෙනෙකුට මාසයක් යයි. සමහර කෙනෙකුට ඊට ත් වඩා කාලයක් යයි. කමක් නෑ. අපිට කාලය ද වැදගත් වෙන්නේ..? ‘අඩු කාලයකින් කිරීම ද, වැඩි කාලයකින් කිරීම ද’ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සිහිය පවත්වා ගැනීම. අවුරුද්දක් නෙමේ දහයක් ගිහිල්ලා හරි කමක් නෑ, සිහිය ඇති කරගන්න උත්සාහ කරන්න. සිහිය උපදවා ගැනීමට කැමති වෙලා ඒක පුරුදු කර ගන්න.
ඉතින් සමහර කෙනෙක් සතියෙන් දෙකෙන් මේ දේ කරගන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නෑ එකිනෙකා ගේ ස්වභාවය. හැබැයි කවුරු ත් ”මම ඉක්මණින් කර ගන්නවා” කියන තැනට එන්න එපා. මොකක් ද කළ යුත්තේ..? මම සිහිය උපදවා ගන්න ඕන කියන හැඟීම ඇතිකරගන්න. මම ඉක්මණින් කරගන්නවා කියන අදහස අත්හැරලා දාන්න. ඊට පස්සේ ටික ටික කරගෙන සිහිය උපද්දවා ගන්න. අන්න ඒ විදියට සිහිය උපද්දවා ගත්තට පස්සේ, තමන්ට තේරෙයි ”මට දැන් නිදිමතට අසු නො වී, එහෙම නැත්නම් හිත එහෙ-මෙහෙ විසිරෙන්නෙ නැතිව මේ භාවනා මණසිකාරය පවත්වා ගන්න පුළුවන්” කියලා. ඊට පස්සේ ඩිංග ඩිංග කාලය වැඩි කරගන්න. එතකොට අපිට කලක් යනකොට සිහියෙන් යුක්ත ව භාවනාවක් පුරුදු කරගන්න අවස්ථාවක් එනවා.
එහෙම නැත්නම් ‘මම පැයක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා’ මේ විදියට හිතලා මුලින් පටන් ගන්න කෙනා, පැය භාගයක් නෙමේ පැය පහක් හරි ඉඳියි. හැබැයි එක්කෝ නින්දට ගිහිල්ලා. නැත්නම් හිත වෙන කොහේ හරි ගිහිල්ලා. ඉතින් එහෙම පැයක් නෙමේ වරුවක් හිටියත් වැඩක් නෑ. විනාඩි පහක් හරි කමක් නෑ සිහිය උපදවාගෙන වාසය කළො ත්, ඒ තමා ධර්මය දියුණු කරගන්න පුළුවන් අවස්ථාව. ඒ තමා ප‍්‍රතිඵල සහිත මග. පැය පහක් හිටියත් වැඩක් නෑ සිහිය නැතුව. පිටට නම් පෙනෙයි, ”අරයා හරියට භාවනා කරනව..” කියලා. ඒක වැඩක් නෑ අපිට. ඉතින් අපිත් කියයි ”මං හොඳට භාවනාකලා, මම පැය ගණන් භාවනා කරල තියෙනවා” කියලා. ඒක වැඩක් නෑ. ඒක හොඳයි කයිවාරු ගහන්න. නමුත් අපි හරි දේ කර ගෙන නෑ. ඒ නිසා අපි පොඞ්ඩ පොඞ්ඩ කර කර සිහිය උපදවා ගන්න බලන්න. ඒ විදියට ආරම්භය හදා ගන්න බලන්න. ඊට පස්සෙ අපිට ටික ටික මේ භාවනාවන් ඉස්සරහට දියුණු කරගන්න අවස්ථාවක් උදාවෙනවා.
සියලු දෙනාට ම ‘සිහිය උපදවා ගැනීම පිණිස වාසනාව උදා වේවා..!’ කියලා, අපි ආශිර්වාද කරනවා.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ