Friday, September 16, 2011

Lord Buddha - Attain Nibbana

මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියාව මහජනයාට සිත් තැවුල්වේ. කවර දෙදෙනෙක්හුගේද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සමිබුද්ධයන් වහන්සේගේද, සක්විති රජහුගේද වෙත්.  
 (අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය,කාලකිරිය සූත්‍රය.)

මේ පණිවිඩය සැමට නොවෙයි.
ප්‍රිය මිතුරනේ ධර්මය නමි ආලොක හුල ශේෂකොට තබා භාග්‍යවතුන් වහන්සේ නමි ප්‍රඥා ප්‍රදිපය නිවි ගොස් දැන් වසර 2555 ක් ගතවි හමාරය, මෙය සැමරිමට කාලයක් නොවන්නේය, සංවේගය උපදවිමටම කාලය වන්නේය. අනියත බව හා විපරිණාමය ලක්ෂනය කොට ඇති මේ ලොවේ විපරිත නොවි වෙනස් නොවි පවතින්නාව ධර්මයක්ද ලැබිය නොහැකි වන්නේය. ධර්මයේ අභාවය ආරමිභ වුයේ අද ඊයේ නොවේ, භාග්‍යවත් බුදුපියානන්වහන්සේ පිරිණිවි බැවි දැන ගත් කල්හි සුභද්‍ර නමි මහා කාශ්‍යප මහරහතුන්වහන්සේගේ පිරිසෙහි වු වියපත් කල පැවදි වු භික්ෂුවක් විසින් කල ප්‍රකාශයෙන්ම ඒ බැවි පැහැදිලි වේ. එසේ වුවත් සංඝ රත්නය විසින් දරනා ලද අප්‍රමාණ වු ප්‍රයත්නයන්ගේ ප්‍රථිපලයක් වශයෙන් අද ද නිර්මළ වු බුදු දහමින් ධර්මාවභෝධයට උපකාරි වන්නාවු තරමි ධර්ම රත්නය වැඩ සිටියි. නුවනැති ධර්මය උගත් අයෙක් වෙත් නමි ඔහුට ඉදිරියේ පැමිනෙන්නාවු මහා සාෂනික  විකාතිවිමක හා ධර්මයේ යටපත් විමක ලකුණු අදද දැකිය හැකි වුනු ඇත. එබැවින් ප්‍රිය මිතුරනේ මෙය පමා විමට කාලය නොවෙයි. හිස ගිනි ගත් අයෙකු යමි සේ ඒ ගින්න නිවාද එමෙන් නිවන් මග සෙවිමට කාලය මෙයයි. නමුත් මේ පණිවිඩය සැමට නොවෙයි. සසර වසන සත්ත්වයෝ සසරෙහිම වසත්වා!! නිවන් සොයන්නවුන් හට මෙය ප්‍රමාදයට කාලය නොවෙයි. 

පෙර ලිපි ද්විත්වයෙන් භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියත් සමිබෝදියට පත්විමත් ගෙන බැලුවා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් දකිනාවු ධර්මය වන්නේ භාග්‍යවතානන්වහන්සේගේ මහා පරිණිර්වාණයයි. ත්‍රිපිටකයේ යමිතාක් සුත්‍ර ඇත්ද, ශ්‍රද්ධාව සඳහා යමි සුත්‍රයක් සොයන්නෙකුට මහ පරිණිර්වාණ සුත්‍රය හැර අන් සුතුරක් නමි නැත්තේමය. ඔබ බෞද්ධයෙක් නමි, භාග්‍යවතුන්වහන්සේ ගැන යමි තරමක හෝ ගෞරවයක්. බුහුමානයක් ඇත්නමි, මහා පරිණිර්වාණ සුත්‍රය කියවා බලන්න. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස පිරිනිවන් නොපානු මැනව, තවත් කලක් වැඩ සිටිනු මැනවැයි ඔබේ සිතින් නැග එන්නාවු ඒ සිතුවිල්ල ඔබට මුලු සුත්‍රය පුරාම අත් දැකිමට හැකිවනු ඇත. ශ්‍රද්ධාවෙන් නැගෙන්නාවු කදුලු බිදුවක් එබේ නෙතෙන් නොගලන්නේ නමි එය විය නොහැක්කක් යැයි සිතමු. ඔබම කියවා අත් දකින්න. ඉතා දිර්ඝ වු මහා පරිණ්බිබාණ සුත්‍රය සමිපුර්ණයෙන් මෙහි දැක්විම කල නොහැක්කක්. එබැවින් කොටසක් පමණක් මෙහි දක්වා ඇත. සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න. 

භාග්‍යවතුන් වහන්ස්ගේ අවසන් ශ්‍රි වදන 
මහණෙනි, දැන් ඔබලාට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී කළයුතු දේ සමිපාදනය කරව”. මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි
 
 එවිට ලොකාග්‍රවු භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝය.

එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ස්වාමීනි, අනුරුද්ධ තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝද.

ඇවැත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ තව පිරිනිවන් නොපෑවෝය. සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝයයි කීවේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී පළමුවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. පළමුවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ඒ හතරවැනි ධ්‍යාන සමාපත්තියෙන් නැගීම හා සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.

සහමිපති බ්‍රහ්ම රාජයා කමිපා වෙයි
භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමගම ලොම් ඩැහැගන්වන ඉතා භයානකවූ මහා භූමිකම්පාවක් වූයේය. අහස ගුගුරන්නට විය. භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමග සහම්පතී නම් මහා බ්‍රහ්මයා මේ ගාථාව කීයේය.

සත්ව ලෝකයෙහි සියලු සත්වයෝම යමි පරිද්දෙකින් ජීවිතේන්ද්‍රිය (ජීවිතය පැවැත්මට උපකාරවන ප්‍රධාන ඉන්ද්‍රිය ශරීරය ඉවත් කිරීම කරන්නාහු වෙත්ද, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි කිසිවෙකුට සමකළ නොහැකිවූ, ශාස්තෲවූ, තථාගතවූ, දසවිධ ඥාන බලයෙන් යුක්තවූ සම්‍යක් සමිබුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ පිරිනිවන් පෑවාහුයයි කීයේය.

සක් දෙවි රජු කමිපා වෙයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ශක්‍ර දිව්‍ය රාජතෙම මේ ගාථාව කීයේය.

සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහුය. ඉපිද නැසීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නිරුද්ධ වන්නාහුය. ඔවුනගේ සංසිදීමයයි කියන ලද නිර්වාණයම සැපයයි.

අනුරැද්ධ මහා රහතුන් වහන්සේ නුවනින් ඉවසයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථා කීවේය.

ස්ථිර සිත් ඇති කමිපා නොවන්නාවූ ස්වාමිදරුවූ බුදුරජානන් වහන්සේගේ ආශ්වාස ප්‍රාශ්වාසය නොපවත්නේය. තණ්හාව නැතිකළාවූ ඒ මුනින්ද්‍රෝත්තමවූ බුදුරජානන් වහන්සේ ශාන්තියයි කියන ලද නිර්වාණය අරභයා කාලක්‍රියා කළෝය.

මනාකොට ප්‍රබෝධවූ චිත්තයෙන් (හොඳ සිහියෙන්) මරණාන්ත වේදනාව ඉවසීම කළෝය. පහනක් නිවීගියාක් මෙන් පිරිනිවන් පෑවෝය.

ආනන්ද තෙර කමිපා වෙයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම මේ ගාථාව කීවේය.

සියලු ආකාරයෙන් උතුමිවූ සම්‍යක් සමිබුද්ධයන් වහන්සේ පිරිනිවන්පෑ කල මහත්වූ ලොමු දැහැගැනීමක් වූයේය. එකල මෙසේ මහත්වූ භයානකවූ පෘථිවි චලනයක් වුයේයයි කීවේය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල එතැනට රැස්වූ භික්‍ෂු සංඝයා අතුරෙහි පහනොකළ රාගය ඇත්තාවූ යමි ඒ පෘථග්ජන භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ භික්‍ෂූහූ ඉතා ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. සුගතයන් වහන්සේ වහා පිරිනිවන් පෑවෝය. පසැස් ඇත්තාවූ බුදුරජානන් වහන්සේ ඉතා ඉක්මනින්ම පිරිනිවන් පෑවෝයයි කියමින් සමහර භික්‍ෂූහු හිස අත් බැඳගෙන මහා ශෝකීව හඩන්නට විය. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙන්නට විය, පෙරළි පෙරළි හඩන්නට විය. රාගයෙන් දුරුවූ, යමි රහත් අනාගාමී භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ රහත් අනාගාමී භික්‍ෂූහූ සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද එසේමය කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නට විය.

එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවේය.
ඇවැත්නි, හැඞීමෙන් පළක් නොවේ. එහෙයින් ශෝක නොකරන්න, විලාප නොකියන්න, නොහඞන්න, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන්නට සිදුවන බව, වෙනස් වන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඉපදීම ආදිය ස්වභාව කොට ඇත්තාවූ යමි  පලුදුවන වන බි‍ඳෙන ධර්මයක් ඇත්ද, ඒ පලුදුවන ධර්මය විනාශ නොවිමට  හේතු නැත්තේය.

ස්වාමීවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, දෙවියෝ කුමක් සිතන්නාහුදැයි කියා ඇසුවෝය.

ආනන්දය, ආකාශයෙහි පෘථිවි සංඥා ඇත්තාවූ දෙවියෝද, පොළොවෙහි පොළොව යන හැගීම ඇත්තාවූ දෙවියෝද, “වහා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑහ. සුගතයන් වහන්සේ පිරිනිවියහ යයි හිස අත් බැඳගෙන හඞත්, ඇදවැටෙත්, පෙරළෙත්

ආනන්දය, රාගයෙන් දුරුවූ යම් අනාගාමී රහත් දෙවි කෙනෙක් වූවාහුද, ඔවුහු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැනින් කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

එවිට ආයුෂ්මවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද ධර්මයෙන් යුතු කථාවෙන් ඒ රාත්‍රියාගේ ඉතිරි කොටස ගත කළාහූය. එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවේය.

මල්ල රජදරැවන් වෙත පණිවිඩයක්
ඇවැත්වූ ආනන්ද, තොපි යව, ගොස් කුසිනාරා නමි නුවරට පැමිණ කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව කියවආනන්ද ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හොඳින් හැඳ පොරවා පා සිවුරු ගෙන කුසිනාරා නුවරට පැමිණුනේය. එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ඒ පරිනිර්වාණය කරුණු කොටගෙනම රැස්වීමි ශාලාවෙහි රැස්ව උන්නාහුය.

එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාවට පැමිණ, “වාසෙටිඨ ගොත්‍ර යෙහිවූ මල්ල රජදරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. යමි ගමනකට කල් දනුවයි කීවේය. මේ වචනය අසා මල්ල රජුන් හා මල්ල රාජපුත්‍ර යෝද මල්ල රජුන්ගේ ලේලියන් හා මල්ල රාජුන්ගේ භාර්යාවෝද හටගත් දුක් ඇතිව දුකෙන් යුක්තව සිතෙහි හටගත් දුකෙන් පීඩිතව භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පෑවෝයයි කියා හිස අත් බැඳගෙන හඞත්, බිම ඇදවැටත්, පෙරළෙත්. යමිපමණ රාගයෙන් දුරුවූ මල්ල රජදරුවෝ වූවාහුද, ඔවුහු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය, මෙතැනින් එය කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

ශ්‍රි දේහයට අවසන් ගෞරව
එවිට කුසිනාරාවැසි මල්ල රජදරුවෝ සුවඳ මල්ද සියලුම තූර්යය භාන්ඩයන්ද, දෙක බැගින්වූ වස්ත්‍ර පන්සියයක්ද ගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය යමි තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරිරයට නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගඳින්ද සත්කාර ගරුකාර වන්දනාමානාදී වශයෙන් පූජා කෙරෙමින් උඩුවියන් බඳිමින් මණ්ඩප පිළියෙල කරමින් ඒ දවස් හෙවත් ඒ පිරිනිවන් පෑ පළමු දවස ගතකළාහුය.

මෙසේ කුසිනාරා මල්ල රජදරුවෝ භාග්‍යවතුන වහන්සේගේ ශ්‍රී ශරිරය නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගක්‍ෂින්ද සත්කාර කරමින් ගරුකරමින් බුහුමන් කරමින් පූජා කරමින් දවස් හයක් ගත කළාහුය.

එවිට සත්වෙනි දවසෙහි කුසිනාරා මල්ල රජදරුවෝ නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරමිහයි සිතුවාහුය. එසමයෙහි මැදි වයස් ඇති ශක්තිමත් මල්ල රජදරුවන් අටදෙනෙක් සුවඳ පැනින් ඉස් සෝදා නාහාගෙන අලුත්වූ වස්ත්‍රයන් ඇඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය උසුලමිහයි කියා උත්සාහ කොටත් උසුලන්ට නොහැකි වූවාහය. එවිට කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගෙන් ඊට හේත? කවරෝදැයි ඇසුවෝය. මල්ල රජදරුවෙනි, තොපගේ අදහස අනිකක් වන්නේය. දෙවියන්ගේ අදහස අනෙකක. දෙවියන්ගේ අදහස නමි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දිව්‍යමය නැටුමිවලින්ද, ගී කීමිවලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන්ම උතුරු දිග් භාගයට වඩා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නගරය ඇතුළට ඇතුල් කොට නුවර මැදින් නුවර මැදට පමුණුවා නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නමිවූ ප්‍රධාන මංගලශාලාව යමි තැනෙක්හිද, මේ ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරමිහයි කියාය.

ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යමි පරිද්දෙකින් වන්නේද, එපරිද්දෙන්ම වේවායි කියා සැළ කළාහුය.

එසමයෙහි කුසිනාරා නුවර යමිතාක් ගෘහසන්ධි, වැසිකිළි කාණු, කුණු කසළ ඇති තැන් වෙත්ද, ඒ සෑම තැනම දණක් පමණ  මදාරා මලින් අතුරණ ලද්දේ වූයේය. එවිට දෙවියෝද, කුසිනාරා වැසි මල්ල රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දෙවියන්ට අයිතිවූද, මනුෂ්‍යයන්ට අයිතිවූද, නැටුමිවලින්ද, ගී කීමිවලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර ගරුකාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන් උතුරු දිග් භාගයට වැඩමවා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නුවරට ඇතුල් කරවා නුවර මැදින් නුවර මැදට වැඩමවා ගෙන ගොස් නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නමිවූ මංගලශාලාව යමි තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය එතැන්හි තැබුවාහුය.
‍ශ්‍රි දේහය කෙරේ පිළිපැදිම
එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. ස්වාමීවූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි කෙසේනමි පිළිපදින්නමෝදැයි විචාළහ.

මල්ල රජදරුවෙනි, චක්‍රවර්ති මහාරජහුගේ ශ්‍රී ශරීරයෙහි යමි ආකාරයකින් පිලිපදින්නාහුද ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහිද පිළිපැදිය යුත්තේයයයි කීහ.

ආනන්ද ස්ථවිරයන් කිවි ආකාර කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අඵත්වූ කසී වස්ත්‍රයෙන් වෙඵවාහුය. මනාකොට නගා පාදන ලද කපු පුඵනෙන් වෙඵවාහුය. අඵත්වූ කසී වස්ත්‍රයෙන් වෙඵවාහුය. මේ ක්‍රමයෙන්ම ශරීරය වෙළා රනින් කළ රන් දෙණක තැන්පත් කොට එබඳුවූ අනිකුත් රන්දෙණකින් වසා සියඵ සුවඳ දරින් දරසෑයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ දරසෑයට නැගුවාහුය.

මහා කාෂ්‍යප මහරහතුන් වහන්සේගේ සමිප්‍රාප්තිය
ඒ කාලයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ භික්‍ෂූන්වූ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නමි නුවර සිට කුසිනාරා නුවර අතර දීර්ඝ මාර්ගයට පැමිණියේ වෙයි. ඒ කලයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේය. ආයුෂ්මත්වූ මහා කාශ්‍යපතෙරුන් වහන්සේ එන්නාවූ ඒ ආජීවකයා දුරදීම දැක්කේය. දැක ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ දන්නෙහිදැයි ඇසුවේය. එසේය, ඇවැත්නි, දනිමි. ශ්‍රමණ භවත් ගෞතමතෙම පිරිනිවන්පා අදට සත් දවසක් වූයේය. එතැනින් මා විසින් මේ මදාරා මල් ගන්නා ලද්දේය යි කීයේය.

ඒ වදන් ඇසු එහි රාගය පහනොකළාවූ භික්‍ෂූහු හිස අත් බැඳගෙන හඩත්. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙත්, පෙරළෙත්, එහා මෙහා පෙරළෙත්. භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පරිනිවි සේක කියාය. ආශාව දුරුකළාවූ අනාගාමී රහත් භික්‍ෂූහුද, “සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවහන්නාහුය.

ඒ කාලයෙහි සුභද්‍ර නමි බුඩඪ පබිබජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්‍ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍රතෙම ඒ භික්‍ෂූන්ට මෙසේ කීය. ඇවැත්නි, තොප හැඞීමෙන් කමි නැත, ශෝක නොකරවි. විලාප නොකියවි. ඒ මහා ශ්‍රමණයාකෙරෙන් අපි හොඳින් මිදිනෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය.මේ දෙය තොපට කැපනොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද, ඒ දෙය කරමිහ. යමක් නොකැමති වෙමුද, ඒ දෙය නොකරමිහ යනුවෙනි.
එවිට ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවෝය. තොප හැඞීමෙන් කමි නැත. තොපි ශෝක නොකරවි, විලාප නොකියවි, නොහඞවි, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව, අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවෙද? ඇවැත්නි, හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාව ඇති සියල්ල ඒකාන්තයෙන් විනාශ නොවේවායි යන මෙ කාරණය සිදුනොවන්නේයයි කීවේය.

එසමයෙහි වනාහි මැදිවියෙහිවූ ශක්තිමත් මල්ල රජදරුවන් සතර දෙනෙක් ඉස්සෝදා නහාගෙන අලුත් වස්ත්‍රයන් හැඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ මෘතදේහය තබා කරනලද දරසෑය ගිනි දල්වමිහයි කියා උත්සාහ කොට ගිනි දල්වා ගත නුහුනුවාහුය. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගෙන් ඊට හේතු කවරෙද, ඊට කරුණු කවරෙදැයි කියා විචාළාහුය. රජුනි දෙවියන්ගේ අදහස අන් පරිද්දෙකි

ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නමි නුවර සිට කුසිනාරා නමි නුවරට යෙමියි සිතා දීර්ඝ මාරගයට පළිපන්නේ වෙයි. ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් යමිතාක් සිරසින් නොවඳින්නාහුද, ඒතාක් කල් භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය ගිනි නොදැල්වෙවායි කියා දෙවියන්ගේ අදහස වන්නේයයි කිවෝය.

ආදාහනය
ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යමිසේද, එසේම වේ වායි කීවාහුය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ මහාකාෂ්‍යප ස්ථවිරයන් වහන්සේ පැමිණ, සිවුර ඒකාන්ශ කොට පොරවා ගෙන නමස් කාර කොට තුන් වරක් දර සෑයවට ප්‍රදක්‍ෂිණා කොට ඇවිද සිරිපතුල් පිහිටි පැත්තෙන්,විවෘත කොට ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවල වැන්දහ. ඒ පන්සියයක් පමණ වූ භික්‍ෂු සංඝයාද එසේම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක වැන්දාහුය. සිරි පතුල් වැන්ද කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය තෙමේම හාත්පසින් ගිනිදැල්වී ගියේය.

මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ කොටස් වල අඵද නොපෙනෙයි, දැලිද නොපෙනෙයි, ශාරීරික ධාතු පමණක් ඉතිරිවූවාහුය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය වූ කල්හි ආකාශයෙන් ජල ධාරාවක් පහළ වී ගිනි නිවුවාය. පිරිවරා සිටි සල් ගස් වලින්ද ජල ධාරා ගලා අවුත් දර සෑයෙහි ගිනි නිවුවාහුය. කුසිනාරා වාසී මල්ල රජ දරුවෝ සියලු සුවඳ පැනින් භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාහුය.

මහා ධාතු පුජාව
ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ශාරීරික ධාතුන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යෝධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්‍ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනුගත් ධනුර්ධයන්ගේ දුනු පවුරකින් වටකොට සත්දවසක් මුඵල්ලෙහි නැටුමි ගී කීමි වාදන කිරීමි ආදියෙන්ද මලින් හා සුවඳ වලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.

ප්‍රිය මිතුරනේ මෙසේ යමිසේ මෙම ලිපි ත්‍රිත්වය කියවා අවසන් වන්නේද, එසේම මේ ජිවිතයත් උත්පත්තිය, ජරාව, මරණයම ස්වභාව කොට පවතින්නේ. මේ ත්‍රිත්වය තුල අනිත්‍ය, දුක්ඛයථ අනාත්මය හැර අන්කිසිවක් ලැබිය නොහැක්කේමය. ප්‍රිය මිතුරනේ, දැන් ඔබලාට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී කළයුතු දේ සමිපාදනය කරව”. මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි

No comments:

Post a Comment