අපි පසුගිය ලිපිවලින් මේ පින්වතුන්ට සිහිකර දුන්නේ, බුදු රජාණන් වහන්සේ අපිට කියා දී තිබෙන විදිහට කෙලෙස් දුරුකර ගන්ට කැමති කෙනෙක් මොන විදිහට ද පුරුදු කළ යුත්තේ කියන කාරණාව. එතකොට වාඩිවෙලා හෝ වේවා හිටගෙන හෝ වේවා ඇවිදිමින් හෝ වේවා නිදාගෙන හෝ වේවා කුමන ඉරියව්වක වාසය කළත් එයා විසින් කළ යුත්තේ තමන්ගේ හිතේ මතුවෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හඳුනගෙන, ඒවා ඉවසන්නේ නැතුව, එවා දුරුකරන්ට මහන්සි වීම. බැහැර කරන්ට මහන්සි වීම. නැතිකරල දාන්ට මහන්සි වීම. අන්න ඒ විදිහට ඒ අකුසල විතර්ක ඉවසන්නෙ නැතුව ඒව දුරුකරන්ට, බැහැර කරන්ට, නැති කරන්ට මහන්සි වෙන යම් කෙනෙක් ඉන්නව නම් අන්න එයා කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනෙක්. එයා පවට බය උපදවාගත්ත කෙනෙක්. එයා පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්. නිවන් මග පුරුදු කරන කෙනෙක්. නිවන කෙරෙහි යොමු වූ සිතින් වාසය කරන කෙනෙක්.
මේ
ධර්මය හොඳට මතක තියාගෙන, මේ මොහොතේ ඉඳන් පුරුදු කර ගන්ට කැමැත්තක් ඇතිකර
ගන්ට ඕනැ. ධර්මය පුරුදු කරන ආකාරය ඉගෙන ගත්ත කෙනා, ඒ වෙලාවෙ ඉඳලම ඒක පුරුදු
කරන්ට කැමති වෙන්ට ඕනැ. ධර්මය පුරුදු කිරීමෙන් එයාට ලැබෙන මහා ප‍්‍රතිලාභය
එයා දන්නව නම්, එයා ඒ වෙලාවෙ ඉඳලම පුරුදු කරන්ට කැමතියි. අපි මේ විදිහට මේ
ධර්මය පුරුදු කරගත්තොත් යම් කළකදී අපේ හිතේ වද දෙන, හිත ගිනි ගන්න, දුක්
උපදවන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු කරගෙන පිරිසිදු
සිතක් ඇතිකර ගන්ට අපිට පුළුවන්්කම ලැබෙනවා. ඒ නිසා ඒ විදිහට පිරිසිදු සිතක්
උපදවා ගන්ට බලවත් කැමැත්තක් ඇතිකර ගන්න.
අපි
කොහොමද මේ එන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බැහැර කරගන්නේ?
අකුසල විතර්ක බැහැර කරගැනීම පිණිස වුවමනා කරන බලය උපදවාගන්න ආකාරය කලින්
අපි ඉගෙන ගත්තා. ඒ තමයි සේඛ බල, ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය,
විරිය බලය, ප‍්‍රඥා බලය. ඒ සේඛ බල උපදවා ගන්නා ආකාරය ගැන අපි ඉතා කෙටියෙන්
කියා දුන්න.
ඒ
සේඛ බල උපදවා ගෙන හටගන්තා වූ අකුසල විතර්ක බැහැර කිරීම අපි කොහොමද කරන්නේ?
සේඛ බල උපදවාගත්ත කෙනාට තමයි මේ අකුසල විතර්ක බැහැර කරන්ට පුළුවන්්කම
තියෙන්නේ. සේඛ බල නැති කෙනාට අකුසල විතර්කයක් ආවොත් ඒ අකුසල විතර්කයෙන් හිත
යට වෙනවා. ඊට පස්සේ එයාගෙ හිත අපිරිසිදු වෙනවා. ඒ අකුසල විතර්කයෙන් හාත්පස
වැහිල ගියාම, එයා දන්නෙ නෑ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හිතන්න. කුසල්
අකුසල් එයාට තේරෙන්නේ නැති නිසා එයා සුචරිතය දුෂ්චරිතය හඳුනන්නෙත් නෑ,
ආත්මාර්ථය පරාර්ථය හඳුන ගන්ටත් බැරි කෙනෙක් බවට පත් වෙනවා. එයා අතින්
දුෂ්චරිතය වීමේ ඉඩකඩ වැඩියි.
එතකොට
අපි විසින් කළ යුත්තේ එන අකුසලය හඳුනගෙන බැහැර කිරීම. ඒ සදහා මූලික වශයෙන්
අපි සේඛ බල උපදවා ගන්නට ඕනැ. සේඛ බල උපදවාගත් කෙනාට තියෙන ලොකුම හැකියාව
තමයි ඒ එන අකුසලය හඳුන ගන්ට පුළුවන්් කම. හඳුන ගැනීමෙන් තමයි අකුසලයට යට
නොවී ඉන්ට පුළුවන්්කම තියෙන්නේ. අකුසලයට යට නොවී ඉන්න පුළුවන් වුනේ ඇයි?
සිහි නුවණ ඉපදුන නිසා. සිහි නුවණ ඉපදුනේ ඇයි? ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ
අවබෝධය අදහාගෙන, ඒ අවබෝධය තුළ වාසය කළා. ඒ අවබෝධය හිතේ පුරුදු කළා.
භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නිතර මෙනෙහි කරමින් වාසය කළා. එතකොට සිහිය
ඉපදුනා. අන්න එයාට පුළුවන්් අර අකුසල විතර්ක හිතේ නැගල එනකොට හඳුන ගන්ට. ඒ
අකුසලය හඳුනගෙන ඒක බැහැර කිරීම පිණිස එයා මහන්සි විය යුතුයි. අන්න ඒකත් අපි
ඉගෙන ගන්ට ඕනැ. එතකොට සේඛ බල පුරුදු කරමින් ඉන්න කෙනාගෙ හිතට අකුසල
විතර්කයක් ආවොත් ඒ අකුසල විතර්කය හඳුන ගන්ට පුළුවන්්. කළක් යනකොට මේ කාම
විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්කය කියල එයාට වෙන් කරල
හඳුනගන්ට පුළුවන්් කළක් එනවා.
ඒ
විදිහට කුසල් අකුසල් හඳුන ගන්ට පුළුවන්කම තමයි නුවණ කියල කියන්නේ. මේක
අකුසලය මේක කුසලය කියල අදුනගන්ට බැරි නම් එයාට නුවණ නෑ. ඊලඟට මේ අකුසලය කාම
විතර්කයක්, මේ ව්‍යාපාද විතර්කයක් මේ විහිංසා විතර්කයක් කියල මේ විදිහට
හඳුන ගන්ට පුළුවන්් වෙන්ට ඕනැ. එහෙම අදුන ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒ
අකුසලයට එයා යට වෙනවා. යට වෙනවා කියල මොකක්ද වෙන්නේ? සමහර විට ඒ අකුසලයට
එයා බය වෙනවා. බය වෙලා මොකුත් කරගන්ට බෑ. ඒ කියන්නේ අකුසලය බැහැර කිරීම
සඳහා සුදුසු ප‍්‍රතිකර්මයක් කරන්ට බැරිවෙලා යනවා. ඒ නිසා අපි ඒ අකුසල් හඳුන
ගන්ට ඕනැ. හඳුන ගන්න කොට එයාට ඒක බැහැර කරන්ට පුළුවන්්කම ලැබෙනවා. එහෙනම් ඒ
හැකියාව උපදින්නේ කොහොම කෙනාටද? මුලින් ම සේඛ බල උපදවා ගන්න කෙනාටයි. සේඛ
බල උපදවා ගැනීම පිණිස ශ‍්‍රද්ධා බලය මුලින් ඇතිකර ගන්ට ඕන. අන්න එයාට හිරි
බලය උපදිනවා. හිරි බලයෙන් යුක්තව වාසය කරන කෙනාට ඔත්තප්ප බලය උපදිනවා. ඒ
උපදින ආකාරය කලින් අපි ඉගෙන ගත්තා.
එතකොට
ඒ සේඛ බල නිතර පුරුදු කළ යුතුයි. ඒ විදිහට නිතර පුරුදු කරන කෙනාට සිහි
නුවණ තියෙන නිසා අකුසල විතර්ක එනකොට එයා කළකදී හඳුන ගන්නව මේක කාම
විතර්කයක්, මේක ව්‍යාපාද විතර්කයක් මේක විහිංසා විතර්කයක් කියල. දැන් එයා
සතුරා හඳුන ගත්ත ද නැද්ද? හඳුන ගත්තා. දැන් ඒ සතුරා හඳුන ගැනීම ම බලවත්
දෙයක් නේද? බලවත් දෙයක්. දැන් එයාට සතුරාට ගොදුරු නොවී ඉන්ට පුළුවන්්.
සතුරා හඳුන ගත්තේ නැත්නම් එයා දන්නේ නෑ මේ සතුරද මිතුරද කියල. ඇසුරට ගිය
ගමන් එයා ගොදුරු වෙලා ඉවරයි. මේ අකුසලය හඳුන ගැනීම ම තමයි සම්මා දිට්ඨිය
කියල කියන්නේ. අකුසලය හඳුන ගන්ට පුළුවන්් නම් එපමණකින් ම එයා සම්මා දිට්ඨිය
උපදවාගෙන.
ඒ
විදිහට අකුසලය හඳුන ගත්තට පස්සේ එයා ඒක බැහැර කරන්ට කල්පනා කළ යුතුයි.
බැහැර කිරීමට කටයුතු කළ යුතුයි. කාම විතර්කයක් හිතේ ඇතිවුනොත් එයා දැනගන්ට
ඕනැ මගේ හිතේ දැන් කාම විතර්කයක් ඉපදිලා තියෙන්නේ මේක අකුසලයක්. මේ අකුසලය
දුක් සහිතයි. දුක් විපාක උපදවන දෙයක්. මේ අකුසලය මගේ හිත අපිරිසිදු කරන
දෙයක්. හිත පිරිසිදු වෙන්ට උපකාර වෙන්නේ නෑ. මේකෙන් මගේ හිත එකඟ කරන්නේ නෑ.
මට සමාධිය ඇතිකර ගන්ට උදව් වෙන්නේ නෑ. මට නිවන පිණිස උදව් වෙන්නේ නෑ,
අපායෙ උපදින්ට හේතුවෙන දෙයක්. මේ විදිහට ඒ අකුසල විතර්කය ගැන එයා හිතන්ට
ඕනැ. අන්න එහෙම අකුසල විතර්කය ගැන හිතන්ට හිතන්ට ඒ අකුසල විතර්කයට එයා
කැමතිද? කැමති වෙන්නේ නෑ. ඇයි අකමැති වෙන්නේ? එයා කල්පනා කරන්නේ ඒ අකුසලයේ
ආදීනවය.
ඒ
අකුසලය අපිට කලින් දුරු කරන්ට බැරි වුනේ අපි ඒ අකුසල විතර්කයේ ආදීනව
කළ්පනා නොකළ නිසා. අපි කලින් දැනගෙන හිටියේ ඒ අකුසලයේ ආශ්වාදයේ පැත්ත. කාම
විතර්කයක් ආවට පස්සේ ඒ කාම විතර්කය පවත්ව පවත්වා ඉන්ට පුරුදු වුනේ ඇයි? ඒකෙ
ආශ්වාදයක් තියෙනවා. ඒ ආශ්වාදයට යට වෙලා ඒක පවත්වනවා. නමුත් ඒ ආශ්වාදය ඉතාම
ලාමක දෙයක්. එකෙ ආදීනවය එයා දන්නේ නැති නිසා ආශ්වාදයට යට වෙලා විනාශ වෙලා
යනවා. නමුත් දැන් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත් කෙනා, ශ‍්‍රද්ධා
බලයෙන් යුක්තයි. අන්න එයා අකුසලයේ ආශ්වාදය වගේම ආදීනවයත් එයා දන්නවා.
ආදීනවය භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනව. අකුසලය කියන්නේ දුක්
සහිත දෙයක්, දුක් විපාක ඇති කරන් දෙයක්, ඒක සිත එකඟ කරන්නෙත් නෑ, සමාධිය
උපදවල දෙන්නෙත් නෑ, නිවන පිණිස උදව් වෙන්නෙත් නෑ. ඒක අපායෙ ඉපදෙන්ට නිරයේ
ඉපදෙන්ට හේතුවෙන දෙයක් කියල අපට පෙන්වා දී තිබෙනවා.
භාග්‍යවතුන්
වහන්සේ පෙන්වා දෙන විදිහට ඒ අකුසල විතර්කයේ ආදීනව සිහි කරන්ට කරන්ට එයා
තුළ අකුසලයට අකමැත්ත ඉපදෙනවා. අන්න ඒ විදිහට අකුසලයට අකමැත්ත ඉපදෙන්ට
ඉපදෙන්ට අකුසලය හිතේ පවතියි ද, දුරු වෙයිද? දුරු වෙනවා. අපිට හතුරුකම් කරන
කෙනෙක් අපේ ගෙදරකට එනවා. අපි දන්නේ නෑ එයා හතුරෙක් කියල. අපි හිතන්නේ
මිත‍්‍රයෙක් කියල. නමුත් අපි දන්නේම නැතුව මෙයා ඇවිදින් අපිට හොරෙන්
හතුරුකමක් කරනවා. ඒ හේතුවෙන් පස්සෙ අපිට දුක් පීඩා ඇතිවෙනවා. නමුත් අපි
හිතන්නේ මෙයා අපිට මිතුරුයි කියල. දැන් අපි එයා ගෙදරට එනකොට මොකද කරන්නේ්?
එයාට හොදට සලකනවා නේද? පාප මිත‍්‍ර ඇසුර කියන්නේ එහෙම එකක් නේද. අපි ඉතාම
කුළුපගව ඇසුරු කරනවා නමුත් එයාගෙන් හානි වෙනවා අපිම දන්නෑ.
අපි
යම් දවසක දැන ගත්තොත් එයා අපිට හතුරුකම් කරන කෙනෙක් කියල අපි ගෙදරට ආවට
පස්සේ එයාට සලකනවද? ප‍්‍රායෝගිකව අපිට හතුරුකම් කරන කෙනා දැන ගත්තට පස්සේ
එකපාරට ගහල එලවන්නේ නෑ නේද? එහෙම වුනොත් මොකද වෙන්නේ? නැති කරදරේක වැටෙනව
නේද? නුවණ තියෙන කෙනා කරන්නේ මොකක්ද? එයාව නොසලකා හරිනවා. එයාව ගනන් ගන්නේ
නැතුව ඉන්නවා. අන්න ඒ වගේ අකුසල විතර්කය පිළිනොගෙන හිටියොත් කළකදී ඒ අකුසල
විතර්කය බැහැරවෙලා යනවා. නමුත් සමහර අය අකුසල විතර්කයක් ආපුවාම එක්කෝ ඒක
හඳුන ගන්නේ නැතුව බය වෙනවා. එහෙම නැත්නම් ඒක එකපාරට දුරුවෙයි කියල හිතනවා.
කවදාවත් එහෙම වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒක එකපාරට දුරු කරන්ට කියල හිතල කළබල
කර ගන්නවා. එතකොට එයාට හානි වෙනවා. සුව පහසුව නැතුව යනවා. ඒ නිසා අකුසල
විතර්කයක් ආ වෙලාවට ඒක අදුන ගන්ට උත්සාහ කරන්ට. කාම විතර්කද ව්‍යාපාද
විතර්කද විහිංසා විතර්කද කියල හදුන ගන්ට ඕනැ. හදුනගෙන ඒකෙ ආදීනව කල්පනා
කරන්ට ඕනැ. ඒකෙ ආදීනව කල්පනා කරන්ට කරන්ට කළකදී ඒ විතර්ක මගින් අපිට වෙන
හානි අඩුවෙනවා. ඒ විතර්ක බැහැරවෙලා යන්ට පටන් ගන්න කළක් එනවා.
ඒ
විදිහට යමෙක් පුරුදු කරනවා නම් එයා කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනෙක්. ඇයි
අකුසල විතර්කයක් ආවම ඒ විතර්කයේ ආදීනව තමයි එයා මෙනෙහි කරන්නේ. දැන් ආදීනව
මෙනෙහි කරන කොට ඒ අකුසල විතර්කය හිතේ තියෙනවද නැද්ද? තියෙනවා. එකපාරට
බැහැරවෙලා යන්නේ නෑ. දැන් අර අපිට හතුරුකම් කරන කෙනා එකපාරට ගහල එලවන්නෙ
නෑ. කළක් යනකම් එයාව නොසලකා හැරියාම එයා එන්නෙ නැති කළක් එනවා. ටික ටික ඒක
වෙන්නේ. ඒ වගේ අකුසල විතර්කය හොඳට හදුනගෙන ඒකෙ ආදීනව කල්පනා කරන්න. කළක්
යයි. අපි කාලය ගැන හිතිය යුතු නෑ. අකුසලය හඳුනගෙන ඒවා බැහැර කිරීමයි කළ
යුත්තේ. එපමනකින් එයා නිවන් මගට ඇවිල්ල.
යමෙක්
මේ විදිහට පුරුදු කරන කොට එයාට සතුටු වෙන්ට පුළුවන් මම බුදුරජාණන් වහන්සේ
වදාළ දේ නේද මේ පුරුදු කරන්නේ කියල. එතකොට බලන්න ධර්මය පුරුදු කරන කෙනා
ආපස්ස හැරිල බලන කොට තමා කළ දේ ගැන සතුටක් උපදිනවා නේද? උපදිනවා. ඉතින්
එබඳු සතුටක් උපදවා ගන්ට අපට උපකාර වුනේ කුමක්ද? සේඛ බල. ශ‍්‍රද්ධා බලය, හිර
බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප‍්‍රඥා බලය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි
විශ්වාස කරන කෙනා ශ‍්‍රද්ධාවෙන් ඒ අවබෝධය අදහා ගන්න කෙනා භාග්‍යවතුන්
වහන්සේ කියා දුන් දේ කරනවා. කියා දුන් දේ කරද්දී එයා සතුටු වෙනවා මම
භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ කරන්නේ කියල. ඒ කටයුත්ත කරල ඉවර වෙලත්
සතුටු වෙනවා මම භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දෙයක් කළා කියල. කරන්න
සූදානම් වෙද්දිත් සතුටු වෙනවා මම භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දෙයක්
කරන්නයි සූදානම් වෙනනේ කියල. එතකොට එයා සතුටින් ඉන්න කෙනෙක් නේද? ඉතාම
සතුටින් ඉන්න කෙනෙක්. ඇයි ඒ විදිහට එයාට සතුටක් උපදින්නේ? එයාට විශ්වාසයක්
තියනව නිවන් මග ගැන.
එයා
දන්නව ”මේ අකුසල විතර්ක සම්බන්ධයෙන් මම මේ විදිහට කල්පනා කළොත්” මේ අකුසල
විතර්කය දුරුවෙන කළක් එනවා කියල. එතකොට එයා නිවන් මග දන්න කෙනා. ඒ නිවන් මග
ඒ ආකාරයෙන් එයා දැන ගත්තේ කොහොමද? ඒකට තමයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ
අවබෝධය අදහා ගන්නවා කියල.
භාග්‍යවතුන්
වහන්සේ ගුරු උපදෙස් රහිතවම ආර්ය සත්‍යය අවබෝධ කළා කියල අපි පිළිගත්තොත්,
අපි දන්නව භාග්‍යවතුන් වහන්සේ දුක ගැනත් අවබෝධ කළා. දුකට හේතුව ගැනත් අවබෝධ
කළා, දුකේ නැතිවීමත් අවබෝධ කළා, දුක නැති කරන මාර්ගයත් අවබෝධ කළා කියල.
අන්න ඒ විශ්වාසය තියනවා කියල කොහොමද අපි හඳුන ගන්නේ? භාග්‍යවතුන් වහන්සේ
කියා දුන් දේ කරනවා. ඇයි? භාග්‍යවතුන් වහන්සේ තමයි දුක නැති කරන විදිහ
දන්නේ. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ පිළිඅරගෙන, ඒ පිළිගත්ත
කෙනා අකුසල විතර්ක සිතේ හටගත්තාම ඒ අකුසල විතර්කය දුරුවෙන ආකාරයට එහි ආදීනව
සිහි කරනවා. එතකොට එයා දන්නව මම භාග්‍යවතුන් වහන්සේ කියාදුන් දේ කරන්නේ.
මම භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ කළා. මේ විදිහට එයා සිහි කරනවා. එතකොට
අපි ඒ සිහි කරන්නෙත් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයමයි. ඒ විදිහට සිහිකරන
කෙනාට ඉතාම සතුටින් යුක්තව ධර්ම මාර්ගය පුරුදුකරගැනීමේ භාග්‍යය උදාවෙනවා.
සියලු දෙනාට ම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment